Flora Tissues, අසමසම ප්‍රමිතියේ සහ විශිෂ්ටත්වයේ 40 වැනි වසර සමරයි

1- Flora Tissues key distributors (LBN)

 



 

 

– සේවකයින් සහ දිවයින පුරා විසිරුණු බෙදාහැරීමේ නියෝජිතයින් අගයයි

ශ්‍රී ලංකාවේ සාඩම්බර නිෂ්පාදනයක් මෙන්ම මෙරට ජනප්‍රියතම ටිෂූ කඩදාසි සන්නාමය වන Flora Tissues නිෂ්පාදනය කරන Pee Bee Management Services පුද්ගලික සමාගම, තම 40 වැනි සංවත්සරය පසුගියදා මහත් උත්කර්ෂවත් අයුරින් සමරන ලදී. නව නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදීමට ඇති සැලසුම් ද ඊට සමගාමීව එළිදැක්වුණි.

සමාගමේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් 2023 සැප්තැම්බර් 9 වැනිදා බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස් හෝටලයේදී විශේෂ උත්සවයක් සංවිධානය කරතිබුණු අතර, එහිදී සමාගමේ බෙදාහැරීමේ නියෝජිතයින් සහ සේවකයින් ද අගැයීමට ලක්කෙරුණි. මෙසේ අගැයීමට ලක්වූ බහුතරයක් 1983 වර්ෂයේදී සමාගම ආරම්භයේ පටන් දශකයක සිට දශක තුනක් දක්වා කාලයක් පුරා Flora Tissues වෙනුවෙන් කැපවී ක්‍රියාකළ අයවලුන් වීම කැපීපෙනුණි. ඔවුහු සියලුදෙනා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා අතින් විශේෂ අගැයීම් තිළිණ ලබාගන්නා ලදී.

ඉන්දියානු Orient Paper Mills හි නියෝජිතයින්වන දිබොජිත් සෙන්ගුප්තා සහ අපරින්ඩර් බට්රා යන මහත්වරු ද ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනයේ අධ්‍යක්ෂක (ලේඛන සහ තොරතුරු සේවා) ටී.එස්. සේනාරත්න මහත්මිය ද මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී වූහ.

වර්ෂ 1982 මුල් භාගය වනවිට ශ්‍රී ලංකාවේ පුද්ගලික සනීපාරක්ෂක මට්ටම ඉහළ නැංවීම පිළිබඳ දැඩි අවශ්‍යතාවක් පැන නැඟී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස 1983 වසර මුලදීම මෘදු ටිෂූ කඩදාසි නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට Pee Bee Management Services පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරු පියවර ගත්හ. එම වසරේ මැද භාගයේ සිට ශ්‍රී ලාංකිකයින්ගේ පුද්ගලික සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් මෘදු ටිෂූ කඩදාසි වෙළෙඳපොළට සැපයීමට සමාගමට හැකිවිය. විශේෂයෙන්ම දේශීය පාරිභෝගිකයින් අතර මෙන්ම සංචාරකයින් සඳහා සේවා සපයන හෝටල් අතර ද Flora Tissues ජනප්‍රිය වන්නට මුල පිරුණි.

Flora සන්නාමය ආරම්භ වූයේම, ඉහළ ගුණාත්මක බවින් යුතු සහ දැරිය හැකි මිලක් යටතේ, කඩදාසි අත් පිස්නා (Paper Serviettes), මුහුණ පිසලන කඩදාසි (Facial Tissues), කඩදාසි තුවා (Paper Towels) සහ ටොයිලට් ටිෂූ කඩදාසි (Toilet tissues) ආදී විවිධ මෘදු ටිෂූ කඩදාසි නිපැයුම් පාරිභෝගිකයින්ට සැපයීමේ අරමුණ සමඟිනි.

රත්මලාන ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් කර්මාන්තශාලාවකින් ආරම්භ වූ සමාගම, 1991 වර්ෂයේදී හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ තමන්ගේම කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සමත්විය. අති නවීන නිෂ්පාදන පහසුම්වලින් සමන්විත වූ මෙම කර්මාන්තශාලාවේ ගබඩා පහසුකම් සේම බෙදාහැරීම්, ප්‍රවාහන හා යටිතල පහසුකම් ද අන්තර්ගත වේ. දැනට කර්මාන්තශාලාව තුළ 320කට අධික සේවක පිරිසක් සේවය කරන අතර, එමගින් කර්මාන්තපුරය අවට ප්‍රජාවට රැකියා සම්පාදනය කරදීමට ද හැකිවී තිබේ.

ගෙවුණු වසර 40 පුරාවටම මෙරට මෘදු ටිෂූ කඩදාසි කර්මාන්තයේ වෙළෙඳපොළෙහි ප්‍රමුඛයා වන Flora Tissues, 60%කට වැඩි වෙළෙඳපොළේ අධිභාරකාරිත්වයක් උසුළන අතර, දැවැන්ත බෙදාහැරීමේ ජාලයක් සමඟින් සමස්ත දිවයිනම ආවරණය කිරීමට ද සමත්ව තිබේ. සාමාන්‍ය පාරිභෝගිකයින් මෙන්ම හෝටල්, අවන්හල්, රෝහල් ඇතුළු වෙනත් ආයතන වෙනුවෙන් ද සුවිශේෂීත වූ නිෂ්පාදන රැසක් Flora Tissues මගින් හඳුන්වා දී තිබේ.

පසුගිය කාලය මුළුල්ලේ විවිධ සම්මාන සහ බුහුමන් රැසක් හිමිකරගැනීමට ද සමාගම සමත් වී ඇත. සුපිරි සන්නාම මට්ටම (Super brand status), ආසියානු පැසිෆික් ව්‍යවසායක සම්මානය (Asia Pacific Entrepreneurship Award), එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් ලෝක ව්‍යාපාරික සංසදය විසින් පිරිනමන BIZZ Award, ආසියාවේ හොඳම සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් වෙත පිරිනැමෙන ආසියානු ආයතනික විශිෂ්ටතා සහ තිරසර සම්මානය (Asia Corporate Excellence and Sustainability Award – Top SME in Asia), සහ Asia One සඟරාව හා URS Media Consulting P.L. මගින් පිරිනැමෙන ආසියාවේ විශිෂ්ටතම සන්නාම සහ ප්‍රමුඛතා සම්මානය ආදී බුහුමන් රැසක් ඊට ඇතුළත් ය.

මෙරට වෙළෙඳපොළ ජයගත් Flora Tissues මේ වනවිට මාලදිවයින සහ සීෂෙල්ස් දිවයින වෙත ද තම නිෂ්පාදන අපනයනය කිරීමට පටන් ගෙන තිබේ. මීළඟ දශකය සඳහා සමාගමේ සාර්ථකත්වයේ ගමන් මඟ ද නිවැරදිව සැලසුම් කර අවසන් අතර, සියලුම සේවකයින්ගේ, බෙදාහැරීමේ නියෝජිතයින්ගේ සහ හවුල්කරුවන්ගේ ද, විශේෂයෙන්ම Flora සන්නාම නාමයට ආදරය කරන, විශ්වාස කරන සහ ළබැඳි ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ගේ ද සහාය සමඟින් එම සාර්ථකත්වයේ සැලසුම් ද යථාර්ථයක් කරගැනීමට හැකිවනු නිසැක ය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව