Fitch ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් අමානා බැංකුවේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් BBB-(lka) ආයෝජන තලය දක්වා ඉහල නංවයි

Amana

Fitch Ratings Sri Lanka විසින් 2024 සිදුකරන ලද නවතම සමාලෝචනයට අනුව අමානා බැංකුවේ දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් BB+(lka) මට්ටමේ සිට ආයෝජන තලයේ ශ්‍රේණියක් වන ‘BBB-(lka) (Stable Outlook සහිතව) දක්වා උසස් කර තිබේ.

මේ සම්බන්ධයෙන් Fitch Ratings මගින් නිකුත් කරන ලද නිවේදනයෙහි දැක්වෙන්නේ, වඩාත් ඉහළ ශ්‍රේණි හිමි ආයතනවලට සාපේක්ෂව තම මූල්‍ය දර්ශක අඛණ්ඩව වර්ධනය කරගැනීමට අමානා බැංකුව සමත් වීම මීට හේතු වූ බවයි. එමෙන්ම පසු කළ  අසීරු වාතාවරණයන් තුළ පැවති අභියෝග හමුවේ පවා අමානා බැංකුවේ මෙහෙයුම් ලාභ/අවදානම් මත බර තැබූ වත්කම් අනුපාතය ඉහළ ගොස් ඇති බවත් (වසර හතරක සාමාන්‍යය 2% සහ 2024 පළමු අර්ධයේ 2.9% ක්), යහපත් ශුද්ධ මූල්‍ය සම්පාදන ආන්තිකයන් පවතින බවත්, විදේශ මුදල් වෙළඳාම් මගින් සැලකිය යුතු ලාභ අත්කරගෙන ඇති බවත් (වසර හතරක සාමාන්‍යය මෙහෙයුම් ලාභවලින් 38% ක්), මූල්‍ය පිරිවැය අවම බවත් එහි වැඩිදුරටත් දැක්වේ. බැංකුවේ මූල්‍ය පහසුකම් සම්පාදනය අඩු-ප්‍රතිඵලදායී ව්‍යාපාරවල සිට වැඩි-ප්‍රතිඵලදායී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ පාරිභෝගික විකුණුම් කාණ්ඩ වෙත මාරුවීම හමුවේ මෙම වැඩිදියුණු වූ ලාභදායීත්වය මධ්‍ය කාලීනව පවත්වා ගැනීමට බැංකුවට හැකි වනු ඇතැයි Fitch ශ්‍රේණිගත කිරීමේ ආයතනය බලාපොරොත්තු වෙයි.
 



 

පසුගිය දශකය තුළ අමානා බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම කැපීපෙනෙන ලෙස වර්ධනය වී තිබීම, මෑතකදී කොළඹ කොටස් වෙළඳපොළේ වෙබ් අඩවියෙහි පළ වූ අමානා බැංකුවේ ‘Investor Connect’ වැඩසටහන තුළද සාකච්ඡා විය. 2013 වසරේදී රු. බිලියන 23 ක් වූ එම වටිනාකම 2024 වසරේ දෙවැනි කාර්තුව වන විට රු. බිලියන 174 ක් දක්වා වර්ධනය වීම මගින් 22% ක සංයුක්ත වාර්ෂික වර්ධන අනුපාතයක් පෙන්නුම් කරන අතර, එය ක්ෂේත්‍රයේ සාමාන්‍ය මට්ටමට වඩා සැලකිය යුතු තරම් ඉහළ අනුපාතයකි. මෙම වර්ධනය නිසා, 2013 වසරේදී සෘණ රු. මිලියන 438 ක් වූ අමානා බැංකුවේ බදු පෙර ලාභය 2023 වසර වනවිට ධන රු. බිලියන 2.3 ක් බවට පත් වී ඇත. 2024 වසරේ ප්‍රථම අර්ධය තුළ අමානා බැංකුව රු. බිලියන 1.4 ක බදු පෙර ලාභයක් වාර්තා කර ඇති අතර, මෙය පෙර වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 68% ක වර්ධනයකි.

අතිශය අභියෝගකාරී වාතාවරණයන් හමුවේ පවා අවස්ථා කිහිපයකදී ප්‍රාග්ධනය රැස්කර ගැනීමටද අමානා බැංකුව සමත් විය. ඒ අතරින් මෑතකදී සිදුකරන ලද හිමිකම් නිකුතුව 2023 නොවැම්බර් මාසයේදී සිදුකෙරුණු අතර එහිදී බැංකුවට දේශීය හා විදේශීය ආයෝජකයන් වෙතින් දැවැන්ත සහයෝගයක් ලැබිණි. එම හිමිකම් නිකුතුව මගින් රු. බිලියන 6 ක ප්‍රාග්ධන ආගමනයක් සිදුවීමත් සමගම අමානා බැංකුවේ සමස්ත ප්‍රාග්ධනය රු. බිලියන 20 දක්වා ඉහළ ගියේ ය.

“අමානා බැංකුවේ Fitch ශ්‍රේණිය ආයෝජක කාණ්ඩයේ ශ්‍රේණියක් දක්වා උසස් කරනු ලැබීම මගින්, ගත වූ වර්ෂයන් තුළ ශක්තිමත් පදනමක් නිර්මාණය කර ගැනීමටත් ඉහළ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමටත් බැංකුව සමත් වී ඇති බවට මනා සාක්ෂියක්. මෙමගින් අපට ක්ෂේත්‍රය තුළ වර්ධනය වෙමින් ඉහළට ගමන් කිරීම සඳහා අවස්ථා රැසක් උදාවන අතර, ඒ ඔස්සේ සියලුම පාර්ශ්වකරුවන්ට ප්‍රතිලාභ හිමි වේ යන්න අපගේ බලාපොරොත්තුවයි.” අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා පැවසී ය.

“නවතම Fitch සමාලෝචනයේදී ආයෝජක කාණ්ඩයේ ශ්‍රේණියක් හිමි වීම අපට මහත් ගෞරවයක්. මෙය අමානා බැංකුවේ ස්ථාවරත්වයට සහ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාවට මනා සාක්ෂියක් ලෙස හැඳින්විය හැකියි. මේ බව ප්‍රධාන කාර්යසාධන දර්ශකවලින්ද හොඳින් නිරූපණය වනවා. වඩාත් ශක්තිමත් ප්‍රාග්ධන පදනමක්, යහපත් මූල්‍ය ක්‍රියාකාරීත්වයක් සහ අඛණ්ඩව වර්ධනය වන ශේෂ පත්‍රයක් සමගින් අප දැන් සිටින්නේ වර්ධනය හා ව්‍යාප්තිය පෙරටත් වඩා වේගවත් කළ හැකි තත්ත්වයකයි. මෙය අපගේ මූල්‍යමය සාර්ථකත්වයට මෙන්ම අනාගත ශ්‍රේණිගත කිරීම්වලට ඉතා යහපත් ලෙස බලපානු ඇතැයි අප සිතනවා. මෙම සාර්ථකත්වය අත්කර ගැනීම සඳහා අපට නොසැලෙන සහයෝගයක් ලබාදුන් අපගේ ගනුදෙනුකරුවන්ටත්, අඛණ්ඩව අප කෙරෙහි විශ්වාසය තැබූ කොටස් හිමිකරුවන්ටත්, සෑම විටම අපට ශක්තියක් වූ අපගේ කාර්ය මණ්ඩලයටත් ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව