Fitch විසින් සියැට් කැලණි හෝල්ඩිංග්ස් AA+ බවට අඛණ්ඩව සිව්වන වසරටත් ශ්‍රේණිගත කරයි

Head Office (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් (CKH) සමාගමට ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) විසින් අඛණ්ඩව සිව්වන වසරටත් AA+ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ලබා දී ඇති අතර, මෙය දේශීය වායුමය ටයර් ක්ෂේත්‍රයේ සමාගමේ තිරසාර නායකත්වය සහ එහි මූල්‍ය පැතිකඩෙහි ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කරන බව ෆිච් සමාගම පවසයි.

“ආනයනය කරන ටයර් වෙතින් නැගී එන තරගකාරීත්වය හමුවේ CKH සමාගමට තම වෙළඳපළ කොටස පවත්වා ගෙනයාමේ හැකියාව පවතින බව ෆිච් හි විශ්වාසය, මෙම ශ්‍රේණිගත කිරීම මගින් විදහා දක්වයි,” යැයි ෆිච් සමාගම නිවේදනය කර ඇත. “දැඩි ආයෝජන කාලපරිච්ඡේදයක් තුළ පවා CKH සමාගම ප්‍රමාණවත් ණය ප්‍රමිතික සහ ද්‍රවශීලතාවය පවත්වා ගෙන යනු ඇති බව අපගේ අපේක්ෂාවත් එයින් අඟවයි,” යැයිද ෆිච් සමාගම පැවසීය.
 



 

“සන්නාමයේ ශක්තිය සහ පුළුල් බෙදාහැරීම් ජාලය හේතුවෙන් 2025 වසරේ වාහන ආනයන තහනම ඉවත් කිරීමෙන් ප්‍රතිලාභ ලැබීමට CKH හොඳින් ස්ථානගත වී ඇති බව අපි විශ්වාස කරමු,” යනුවෙන් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසා සිටියේය. කෙසේ වෙතත් නියාමන අවිනිශ්චිතතාවය හේතුවෙන් මෙම සාධකයෙන් මධ්‍යම හා දිගු කාලීන ඉල්ලුමට ඇති වන බලපෑම ශ්‍රේණිගත කිරීමට සලකා නොමැති බවත් ෆිච් අනාවරණය කළේය.

AA+ ණය ශ්‍රේණිගත කිරීම මූල්‍ය වගකීම් සපුරාලීමට ආයතනයකට ඇති හැකියාව පිළිබිඹු කිරීම සඳහා ෆිච් රේටින්ග්ස් ලබාදෙන දෙවන ඉහළම ශ්‍රේණිගත කිරීම වේ. සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගමට ලබා දී ඇති ශ්‍රේණිගත කිරීමට දායක වු සාධක අතරට සංචාර නැවත ආරම්භ කිරීම සහ වැඩිදියුණු කළ ඉන්ධන සැපයුම මධ්‍යයේ ටයර් ආදේශනය ප්‍රකෘතිමත් වීම ඇතුළත් විය.

සියැට් කැලණි සමාගම AA+ ලෙස ශ්‍රේණිගත කර ඇති වසර හතර ගෝලීය වසංගතය, රටෙහි ආර්ථික අර්බුදය, අරගලය, ජනාධිපතිවරයකු නෙරපා හැරීම සහ අතිශය තරඟකාරී      ජනාධිපතිවරණය ඇතුළු ලංකාවේ ව්‍යාපාර සඳහා බලපාන ලද කලබලකාරී සහ අභියෝගාත්මක කාලයක් නියෝජනය කරන බව, සියැට් කැලණි හෝල්ඩිංස්හි හි සභාපති චානක ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. තවදුරටත් වර්ධනය අත්කර ගන්නා අනාගතයට සූදානම් වීමේදී සමාගමේ ශක්තියට අදාලව මෙවැනි ස්වාධීන ශ්‍රේණිගත කිරීමකට වඩා හොඳ සාක්ෂියක් තිබිය නොහැක,” යැයිද ඔහු පැවසුවේය.

2025 මූල්‍ය වර්ෂයේදී සියැට් කැලණි හි විකුණුම් සියයට 18 කින් ඉහළ යනු ඇති බව සහ 2028 දක්වා සියයට 10 ක සංයුක්ත වාර්ෂික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කරන බව ෆිච් ආයතනය පවසයි. කෙසේ වෙතත්, අභිමත වියදම් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්  සැලකිලිමත් වීම සහ මීට පෙර CKH හි ආදායමෙන් සියයට 40 කට වැඩි දායකත්වයක් ලබා දුන් ඉදිකිරීම් අංශයෙන් සහ රජයේ ප්‍රසම්පාදන වෙතින් ඇති ඉල්ලුම තවමත් පූර්ව අර්බුද මට්ටම් කරා පැමිණ නොමැති නිසා මෙම වර්ධන වේගය අඩුවිය හැකි බව එම ආයතනය සඳහන් කළේය.

සියැට් සන්නාමය ඉතාලියේ ආරම්භ වූවක් වන අතර ඉන්දියාවේ හා ජර්මනියේ පිහිටි පුළුල් පර්යේෂණ හා පරීක්ෂණ පහසුකම් වල පිටුබලය ලබයි. ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රොස්-ප්ලයි සහ රේඩියල් ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි සමාගම මෙරට ටයර් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය ලෙස වර්ධනය වීම, නව තාක්ෂණය සහ ගුණාත්මකභාවයේ වැඩිදියුණු කිරීම් සඳහා වසර ගණනාවක් පුරා සිදු කරන ලද සැලකිය යුතු ආයෝජනවල ප්‍රතිඵලයක් වන අතර ඒ තුළින්  නිෂ්පාදන ධාරිතාවය වැඩිවීමක් පමණක් නොව නිෂ්පාදන පරාසයේ පුළුල් වීමක්ද සිදු වී ඇත. සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල්  (මගී මෝටර් රථ, වෑන් සහ SUVs), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා වන ටයර ආවරණය කරයි.

සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති  සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි. සියැට් කැළණි සමාගම සිය  නිෂ්පාදනයෙන් සියයට 20ක් පමණ රටවල් 16කට අපනයනය කරන අතර ආනයනික ටයර්  මත යැපීම අඩුකරමින් විදේශ විනිමය සුරැකීමට ජාතික ආර්ථිකයට උපකාර කිරීමෙහිලා  සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව