Eco Spindles 8 වන වරටත් පවත්වනු ලැබූ කතරගම අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරයි

Image 1 (LBN Fill)

 



 

 

ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන Eco Spindles (Private) Limited 8 වන වරටත් පවත්වනු ලැබූ වාර්ෂික කතරගම අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය පසුගියදා සාර්ථකව අවසන් කළේය. මෙම ව්‍යාපෘතිය මගින් කතරගම පූජා භූමි වන රුහුණු කතරගම දේවාලය, සෙල්ල කතරගම, වැඩිහිටි කන්ද සහ ඒ අවට ප‍්‍රදේශයේ ඉවත දමන ලද PET (polyethylene terephthalate) ප්ලාස්ටික් බෝතල් 43,590ක් එකතු කිරීමට හැකි විය.

කතරගම යනු මැණික් ගඟ, යාල ජාතික වනෝද්‍යානය සහ ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය ආදී වූ මෙරට පාරිසරික වශයෙන් ඉතා වැදගත් පරිසර පද්ධතියකින් සමන්විත ප‍්‍රදේශයක් මෙන්ම ශ‍්‍රී ලාංකික සහ ඉන්දියානු වන්දනාකරුවන්ගේ වන්දනාමානයට ලක් වූ පුද බිමකි. උත්සව සමයේදී මිලියනයකට අධික ජනතාවක් කතරගමට පැමිණෙන අතර මෙම කාල සීමාවේ දී ප්ලාස්ටික් අපද්‍රව්‍ය රැසක් පරිසරයට එකතු වීම කණගාටුවට කරුණකි. මෙම ප්ලාස්ටික් නුසුදුසු ලෙස බැහැර කිරීම හේතුවෙන් ජල මාර්ග අවහිර වීමේ අර්බුදයක් සහ සත්ව වාසස්ථාන පිළිබඳ ගැටළුවක් පැන නැග ඇත.

කතරගම ප‍්‍රාදේශීය සභාව සහ රුහුණු කතරගම මහා දේවාලය ආශි‍්‍රත ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් කි‍්‍රයාත්මක කරන මෙම අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ජූලි මස 29 වන දින ආරම්භ කෙරුණු අතර එය අගෝස්තු 12 වන දින සාර්ථකව අවසන් විය. ප‍්‍රදේශයේ තරුණ සමාජයක් වන සොබා පරිසර තුරුණු සමාජයේ ස්වේච්ඡා සේවකයින් 60 දෙනෙක්, Eco Spindles හි ස්වේච්ඡා සේවකයන් 20 දෙනෙක් සහ එහි ව්‍යාපෘති හවුල්කරුවන් පිරිසක් ඊට සහභාගී විය.

2014 වසරේ මෙම කතරගම අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු Eco Spindles විසින් PET ප්ලාස්ටික් බෝතල් 555,990 ක් එකතු කර ඇති අතර එය කිලෝ 18,533 ක ප‍්‍රමාණයකි. උත්සව සමයේ කතරගමට පැමිණෙන බැතිමතුන් ඇතුළු ශ‍්‍රී ලාංකිකයින්ට වගකීම් සහිත ප‍්‍රතිචක‍්‍රීයකරණය පිළිබඳව දැනුවත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. තවද Eco Spindles විසින් කතරගම ප‍්‍රදේශයේ එකතු කරන්නන්ගේ ශක්තිමත් ජාලයක් ක‍්‍රියාත්මක කරනු ලබයි. ඔවුන් ඉවතලන ප්ලාස්ටික් එකතු කිරීමෙහිලා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මිලදී ගෙන ප්ලාස්ටික් එකතු කිරීම තම ජීවනෝපාය කරගත් මෙම ව්‍යවසායකයින්ට සමාගම අඛණ්ඩව සහාය දක්වයි.

”වසංගතය මෙන්ම රට තුල පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ අභියෝග එල්ල වුවද කතරගම අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය වැනි වැඩසටහන් අපට අමතක කළ නොහැක්කේ එමගින් අපගේ පරිසරය සුරැකීම වෙනුවෙන් ඇතිවන ධනාත්මක බලපෑම නිසායි. දිනකට ප්ලාස්ටික් බෝතල් 360,000 කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන සමාගමක් ලෙස හරිත ශ‍්‍රී ලංකාවක් වෙනුවෙන් දායක වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවිධිමත් සහ වගකීම් විරහිතව බැහැර කිරීමෙන් සිදුවන පරිසර හානිය කෙරෙහි අපි දිගටම අවධානය යොමු කරනවා. එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය පොලියෙස්ටර් නූල් සහ මොනොෆිලමන්ට් වැනි අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කිරීමට අපි කටයුතු කරනවා.” යනුවෙන් BPPL Holdings PLC හි ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

Eco Spindles යනු ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද PET ප්ලාස්ටික් කැබලි වලින් සෘජුවම පොලියෙස්ටර් නූල් නිර්මාණය කිරීමේ හැකියාව ඇති සහ ලෝකයේ දැනට එම පහසුකම සහිත කර්මාන්තශාලා දෙකෙන් එකක් හිමි BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී හි අනුබද්ධිත ආයතනයකි. මෙම ආයතනය බහු අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධ වෙමින් සහ එය ආරම්භ කරමින් ශ‍්‍රී පාදය, මුන්නේෂ්වරම් සහ තලවිල ආදී පූජා භූමි කේන්ද්‍ර කරගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක කරමින් වගකිවයුතු සංවිධානයක් ලෙස අඛණ්ඩව සිය කාර්යභාරය ඉටු කරමින් සිටී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව