DFCC බැංකුව සිදුකළ මෙරට ප්‍රථම හරිත බැඳුම්කර නිකුතුවට පළමු දිනයේදීම අධි දායකත්වයක්

DFCC Bank English Logo

DFCC බැංකුව තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර නිකුතුව පසුගියදා සාර්ථක ලෙස අවසන් කළේ ය. 2024 සැප්තැම්බර් 12 ආරම්භ වූ එයට ප්‍රථම දිනයේදීම අධි දායකත්වයක් ලැබිණි. ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙය, තිරසාරත්වය උදෙසා DFCC බැංකුව දක්වන කැපවීමට මනා සාක්ෂියක්ද වේ. මෙමගින් රැස්කරගත් අරමුදල් සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනය කරනු ලබන අතර, එය මෙරට පරිසර හිතකාමී සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් ලබාදෙන සුවිශේෂී දායකත්වයක් ලෙස හැඳින්විය හැක. ඉදිරියේදී මෙම හරිත බැඳුම්කර කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත වී ගනුදෙනු සඳහා විවෘත වනු ඇත.
 



 

“මේ හරිත බැඳුම්කර එකතුවට ආයෝජකයන් වෙතින් දැවැන්ත ප්‍රතිචාරයක් ලැබුණා. එය DFCC බැංකුවේ තිරසාර ක්‍රමෝපාය කෙරෙහි මෙන්ම හරිත මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් අප සතු දැක්ම කෙරෙහි ඔවුන් තබා ඇති විශ්වාසයට මනා සාක්ෂියක්. ප්‍රථම දිනයේදීම අධි දායකත්වයක් ලැබීම තුළින් මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයට නව ආදර්ශයක් ලබාදීමටත්, රටේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා තීරණාත්මක ඉදිරි පියවරක් තැබීමටත් අපට හැකියාව ලැබුණා. මෙය හරිත අනාගතයක් උදෙසා අප සතු දැක්ම මෙන්ම තිරසාර ආර්ථික වර්ධනයක් වෙනුවෙන් අප සතු කැපවීම නැවත වරක් තහවුරු කරන ජයග්‍රහණයක් ලෙස හැඳින්වීමට පුළුවන්. එමෙන්ම මේ හරිත බැඳුම්කර නිකුතුව සාර්ථක කරගැනීම සඳහා සහයෝගය ලබාදුන් ආයෝජකයන් ඇතුළු සියලුම දෙනාට අපගේ ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

‘Type A’ ලෙස වර්ග කර ඇති මෙම බැඳුම්කරවල කාලසීමාව වසර 3 කි. එයට 12.00% ක ස්ථාවර වාර්ෂික පොලියක් නියම කර ඇති අතර, වාර්ෂිකව පොලිය ගෙවීමක් සහ බැඳුම්කරවල කාලසීමාව අවසානයේදී එකවර ප්‍රාග්ධනය ආපසු ගෙවීමක් සිදුකෙරේ. International Capital Markets Association (ICMA) හි හරිත බැඳුම්කර මූලධර්මවලට අනුකූල බැඳුම්කර රාමුවක් මේ සඳහා භාවිතා කරන ලද අතර, එය නිර්මාණය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය හිමි විය. මෙහි මූලික නිකුතුව රු. බිලියන  2 ක් වූ අතර, අධි දායකත්වයක් සිදුවුවහොත් එය රු. මිලියන 500 කින් ඉහළ නැංවීමට හැකියාව තිබිණි. ඒ අනුව මෙම මූලික මහජන බැඳුම්කර නිකුතුව මගින් රැස්කර ගත් මුළු මුදල රු. බිලියන 2.5 ක් විය.  එක් බැඳුම්කරයක මිල රු. 100/- ක් වූ අතර, අවම ග්‍රාහකත්වය බැඳුම්කර 100 ක් හෙවත් රු. 10,000/- ක් විය. අවම සීමාවෙන් ඔබ්බට 100 ගුණාකාර වශයෙන් බැඳුම්කර ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබිණි.

DFCC බැංකුවේ හරිත බැඳුම්කර නිකුතුවට ආයෝජකයන් වෙතින් ඉතා යහපත් ප්‍රතිචාරයක් ලැබුණු අතර, එහි ප්‍රධානතම ආයෝජකයා වූයේ Ceylinco Life Insurance Limited සමාගමයි. මෙම නිකුතුව මෙරට ප්‍රාග්ධන වෙළඳපොළේ කැපීපෙනෙන සමාගම් දෙකක් වන Acuity Partners (Private) Limited සහ Capital Alliance Partners Limited මගින් කළමනාකරණය කරන ලද අතර, KPMG සමාගම නිකුතුවේ බාහිර සමාලෝචක ලෙසද, Nithya Partners එහි නීතීඥවරුන් ලෙසද කටයුතු කළහ. මහජන බැංකුව නිකුතුවේ භාරකරු වූ අතර, ලේඛකාධිකාරී සේවාවන් ලබාදෙන ලද්දේ SSP Corporate Services Private Limited විසිනි. Fitch Ratings (Lanka) Limited මගින් මෙම බැඳුම්කර සඳහා A- (lka) ලෙස මූල්‍ය උපකරණ ශ්‍රේණිගත කිරීමක් ලබා දී ඇති අතර, බැඳුම්කර නිකුත් කළ DFCC බැංකුවට Fitch Ratings වෙතින් A- (lka)/Stable ශ්‍රේණිගත කිරීම හිමි වී ඇත.

මෙබඳු හරිත බැඳුම්කර නිකුතුවක් මෙරට තුළ සිදුකරන ලද්දේ ප්‍රථම වතාවට වූ බැවින්, කොළඹ කොටස් වෙළඳපොළ මගින් ඒ සඳහා විශේෂයෙන් පහසුකම් සලසන ලදි. කොළඹ කොටස් වෙළඳපොළ විසින් මෙම නිකුතුව වර්ගීකරණය කර ඇත්තේ “නිකුතුව මගින් ලැබෙන අරමුදල් පුනර්ජනනීය බලශක්තිය, බලශක්ති කාර්යක්ෂමතාව, තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය, තිරසාර ඉඩම් භාවිතය (වන වගාව සහ කෘෂිකර්මය), ජෛව විවිධත්වය, පරිසර හිතකාමී ප්‍රවාහනය සහ පිරිසිදු ජලය වැනි පරිසර හිතකාමී ප්‍රතිලාභ හිමිකර ගැනීම සඳහාම ආයෝජනය කරනු ලබන නව්‍ය වූ මූල්‍ය උපකරණයක්’ ලෙසිනි. මෙම බැඳුම්කරවල විශේෂත්වය වන්නේ ඒවා DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන උනන්දුවට හා කැපවීමට සමගාමී වීම ය. විධිමත්භාවය සහ ආයෝජකයන්ගේ පහසුව තකා මෙම බැඳුම්කර නිකුතුවේ ගනුදෙනු කටයුතු සාම්ප්‍රදායික බැඳුම්කර නිකුතුවකට සමාන ලෙස සිදුකරන ලදි.

DFCC බැංකුව දීර්ඝ කාලයක පටන් මෙරට තිරසාරත්ව මෙහෙවරෙහි පෙරමුණ ගෙන සිටියි. පුනර්ජනනීය බලශක්තිය, අධ්‍යාපනය සහ ව්‍යවසායකත්වය වැනි ප්‍රධාන අංශ ආවරණය වන පරිදි විධිමත් තිරසාරත්ව ක්‍රමෝපායක් ක්‍රියාවට නැංවූ ප්‍රථම දේශීය බැංකුව එයයි. 1990 දශකයේ පටන්ම DFCC බැංකුව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට මූල්‍ය පහසුකම් සැපයීම සඳහා මෙන්ම වර්තමානයේදී එම ක්ෂේත්‍රයට සවිමත් අත්වැලක් වී ඇති ප්‍රතිපත්තිමය රාමු නිර්මාණය කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකළේ ය. මෙම හරිත බැඳුම්කර නිකුතුව, එම මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙනයමින් වඩාත් පරිසර හිතකාමී අනාගතයක් උදෙසා පෙරමුණ ගැනීමක් ලෙසද හැඳින්විය හැකි වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව