DFCC බැංකුව 2025 පළමු කාර්තුවේදීත් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

Image (4) (LBN)

DFCC බැංකුව 2025 වර්ෂයේ පළමු කාර්තුව තුළදීත් සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. එම කාර්තුව තුළ DFCC සමූහය රු. බිලියන 2.9 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර, එහි සමස්ත වත්කම් 8% කින් වර්ධනය වී රු. බිලියන 765 ක් ලෙස වාර්තා වී තිබේ. මේ අතර Acuity Partners හි තමන් සතුව පැවති 50% ක කොටස් ක්‍රමෝපායිකව බැහැර කිරීමත් සමග බැංකුවේ බදු පසු ලාභය රු. බිලියන 7.8 ක් විය.
 



 

ප්‍රධාන බැංකුකරණ මෙහෙයුම් කටයුතු ශක්තිමත්ව පැවතුණු අතර, බැංකුවේ ශුද්ධ පොලී ආදායම 5% කින් වර්ධනය වී තිබේ. ජංගම හා ඉතුරුම් ගිණුම් තැන්පතු වර්ධනය වීම සහ, පොලී අනුපාත පහළ යමින් පැවති වාතාවරණයක් තුළ සාර්ථක ලෙස අනුපාතයන් සංශෝධනය කිරීම මීට හේතු විය. ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA ratio) 26.47% දක්වා වර්ධනය වූ අතර, ශුද්ධ පොලී ආදායම රු. බිලියන 7.4 ක් විය. පෙර වසරට සාපේක්ෂව ගාස්තු සහ කොමිස් ආදායම 24% කින් වර්ධනය වී ඇති අතර, ප්‍රේෂණ ඉහළ යාම සහ ක්‍රෙඩිට් කාඩ්පත් මෙහෙයුම් කටයුතු පුළුල් වීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

සාර්ව ආර්ථික පරිසරය යහපත් වීම සහ ණය ආපසු අය කරගැනීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම හේතුවෙන් අක්‍රීය ණය ප්‍රතිපාදන 14% කින් පහළ ගොස් රු. බිලියන 1.3 ක් ලෙස වාර්තා වී තිබේ. වඩාත් යහපත් වත්කම් ගුණාත්මකභාවයක් පිළිබිඹු කරමින් අදියර 3 අක්‍රීය ණය අනුපාතය 5.38% දක්වා වර්ධනය විය. උද්ධමනය සහ කාර්ය මණ්ඩල ප්‍රතිලාභ හේතුවෙන් මෙහෙයුම් පිරිවැය ඉහළ ගිය නමුන් පිරිවැය කළමනාකරණය සඳහා අවශ්‍ය පියවර ගැනීම හේතුවෙන් වියදම් පාලනය කරගැනීමට හැකියාව ලැබිණි.

ප්‍රාග්ධන ප්‍රමාණතාව සහ ද්‍රවශීලතා තත්වය යහපත් ලෙස වාර්තා වී තිබේ. බැංකුවේ අදියර 1 අනුපාතය 10.89% ක් සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 13.50% ක් වශයෙන් පැහැදිලි ලෙස අවම නියාමන සීමාවන්ට ඉහළින් පැවතිණි. ද්‍රවශීලතාව යහපත් වූ අතර, ද්‍රවශීලතා ආවරණ අනුපාතය 255.07% ක් සහ ශුද්ධ ස්ථාවර අරමුදල් සම්පාදන අනුපාතය 118.15% ක් ලෙස වාර්තා විය.

මෙම කාර්තුව තුළ බැංකුව විසින් සනිටුහන් කරන ලද වඩාත්ම සුවිශේෂී සන්ධිස්ථානයක් වූයේ, ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව Luxembourg Green Exchange හිද ලියාපදිංචි කිරීමට හැකි වීමයි. මෙය තිරසාර මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් DFCC බැංකුවේ පුරෝගාමීත්වයට මෙන්ම පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය උදෙසා බැංකුව දක්වන උනන්දුවට මනා සාක්ෂියකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසුවේ නිවාස හා රථවාහන මූල්‍ය පහසුකම්, රන් ණය පහසුකම් සහ විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් ප්‍රේෂණ සේවාවන් ආදිය ඔස්සේ ගනුදෙනුකරුවන්ට උපරිම ප්‍රතිලාභ පිරිනැමීමට DFCC බැංකුව දිගින් දිගටම කටයුතු කරමින් සිටින බවයි. සිය 70 වන සංවත්සරය සමරන මේ වසරේදී බැංකුව දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය, මූල්‍ය අන්තර්කරණය සහ සමස්ත ශ්‍රී ලංකාවාසීන් උදෙසා තිරසාර දියුණුවක් සහතික කිරීම වෙනුවෙන් කැප වී සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව