DFCC බැංකුවේ 25 වැනි බාහිර ATM/CRM සේවා ස්ථානයක් පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්තපුරයේ විවෘත කෙරේ

Image 01

 



 

 

 

2022 අප්‍රේල් 27, කොළඹ: DFCC බැංකුවේ 25 වැනි බාහිර ATM/CRM සේවා ස්ථානයක් පසුගියදා පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්තපුරයේදී විවෘත කරන ලදි. මේ වෙනුවෙන් පැවති විශේෂ උත්සවයට DFCC බැංකුවේ සහ ටෙම්පල්බර්ග් කර්මාන්තපුරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තෝරාගත් ගනුදෙනුකරුවන් පිරිසක් එක්වූහ. කිලෝමීටර් 3 ක් පුරා විහිදෙන ටෙම්පල්බර්ග් කර්මාන්තපුරය තුළ සමාගම් 34 ක කර්මාන්තශාලා හා කාර්යාල පිහිටා ඇති අතර ඒවායෙහි සේවය කරන සංඛ්‍යාව 5,000 කට අධික ය. DFCC බැංකුවේ නව ATM/CRM කුටිය නිසා ඔවුන්ට දැන් කර්මාන්තපුරයෙන් පිටතට ගමන් කිරීමෙන් තොරව තම මූල්‍ය සේවා අවශ්‍යතාවන් ඉතාමත් පහසුවෙන් ඉටුකර ගැනීමට අවස්ථාව සැලසී තිබේ.

“ටෙම්පල්බර්ග් කර්මාන්තපුරය යනු විශාල පිරිසක් රාජකාරි සඳහා පැමිණෙන ස්ථානයක්. එම පිරිසට මීට පෙර මූල්‍ය සේවාවන් ලබාගැනීමේදී නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවී තිබුණු බව අපට පෙනී ගියා. ඇතැම් විට මූල්‍ය සේවා අවශ්‍යතා සඳහා ඔවුන්ට කෙටි නිවාඩු ලබාගැනීමට සිදුවී තිබීම, ඔවුන් සේවය කරන ආයතන වල ඵලදායීතාවටත් බලපෑ සාධකයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔවුන්ට වඩාත් ඉක්මනින් හා පහසුවෙන් මූල්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාව ලබාදීමට අප තීරණය කළේ ඒ නිසයි. මෙය වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීම ඉලක්ක කරගත් අපගේ 2030 තිරසාරත්ව ඉලක්ක වලට සමගාමී පියවරක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. මේ ආකාරයට මෙම කර්මාන්තපුරයේ සේවක සේවිකාවන් සහ පොදු ජනතාවට ඉමහත් පහසුවක් සැලසෙන පරිදි, මුදල් තැන්පත් කිරීමේ, මුදල් ආපසු ලබාගැනීමේ සහ ඩිජිටල් ගෙවීම් සිදුකිරීමේ පහසුකම් වලින් සමන්විත ATM/CRM කුටියක් මෙහි ස්ථාපිත කිරීමට හැකිවීම අපට මහත් සතුටක්. එමෙන්ම අපගේ ඩිජිටල් මුදල් කළමනාකරණ විසඳුම වන DFCC iConnect සහ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරගත් අනෙකුත් සේවාවන් ඔස්සේ මෙරට ව්‍යාපාර වලට සවිමත් අත්වැලක් සැපයීමටත් අප පියවර ගෙන තිබෙනවා.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

මෙම නවතම CRM යන්ත්‍රය භාවිතා කරමින් ඕනෑම බැංකුවකට අයත් ගිණුමකින් මුදල් ලබාගැනීමටත්, DFCC බැංකුවේ ගිණුම් වලට මුදල් බැර කිරීමටත් හැකියාව ඇති අතර, උපයෝගීතා බිල්පත් ගෙවීම් සහ DFCC ක්‍රෙඩිට් කාඩ් සඳහා ගෙවීම්ද සිදුකළ හැකි වේ. CRM යන්ත්‍රයට අමතරව මෙහි Pay & Go යන්ත්‍රයක්ද ස්ථාපිත කර ඇති නිසා ජනතාවට ජංගම දුරකථන රීලෝඩ් කිරීම, උපයෝගීතා සේවා බිල්පත් ගෙවීම සහ රක්ෂණ හා ලීසිං වාරික ගෙවීම වැනි සේවාවන් රාශියක් ලබාගැනීමට අවස්ථාව හිමි වී ඇත. විශේෂයෙන්ම සියලුම ජාල වලට අයත් ජංගම දුරකථන රීලෝඩ් කළ හැකි වීම, මෙම කර්මාන්තපුරයේ සේවය කරන සියලුම දෙනාට විශාල පහසුවක් වනු නො-අනුමාන ය (කර්මාන්ත පුරයට ආසන්නතම දුරකථන රීලෝඩ් කිරීමේ ස්ථානය පිහිටා ඇත්තේ කිලෝමීටරයක පමණ දුරකිනි). තවද මෙම CRM යන්ත්‍රය භාවිතයෙන් Salary Partner හෝ Salary Plus වැනි, වැටුප් බැරකිරීම් සඳහාම සැලසුම් කරන ලද DFCC ගිණුම් විවෘත කර, එම ගිණුම් සමග හිමි වන සුවිශේෂී ප්‍රතිලාභ අත්විඳීමටද ගනුදෙනුකරුවන්ට අවස්ථාව හිමි වේ.

මෙහිදී අදහස් දක්වමින් DFCC බැංකුවේ උප සභාපති (ඩිජිටල් ක්‍රමෝපාය) දිනේෂ් ජෙබමනි මහතා කියා සිටියේ, බැංකුකරණයේ අනාගතය රඳාපවතින්නේ ඩිජිටල් බැංකුකරණය සහ ඩිජිටල් අන්තර්කරණය මත බැවින් ඒ සම්බන්ධයෙන් DFCC බැංකුව දැඩි අවධානයක් යොමුකර ඇති බවයි. “අද දවසේ බැංකුව තමන් වෙතටම පැමිණ සේවාවන් සලසනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඩිජිටල් ගනුදෙනු ක්‍රමවේදයන් රාශියක් භාවිතයට පැමිණ තිබුණත්, තවමත් අවශ්‍යතාව හෝ කැමැත්ත නිසා ඇතැම් ගනුදෙනු මුදල් භාවිතා කරමින් සිදුකළ යුතුයි. එවැනි අවස්ථා වලදී මෙබඳු බාහිර ATM/CRM කුටි ජනතාවට අතිශයින් වැදගත් වනවා. පැය 24 පුරා ක්‍රියාත්මක මෙම යන්ත්‍ර  භාවිතයෙන් මුදල් මෙන්ම ඩිජිටල් ගනුදෙනු සිදුකළ හැකි නිසා, ටෙම්පල්බර්ග් කර්මාන්ත පුරයේ සේවකයන්ට මෙන්ම මෙම ප්‍රදේශයේ පදිංචිකරුවන්ටත් මෙය ඉමහත් පහසුවක් වේවි. එමෙන්ම මෙම ATM/CRM කුටිය මෙම කර්මාන්තපුරය තුළ පිහිටි කර්මාන්තශාලා වලට තම දෛනික මුදල් ගනුදෙනු සහ උපයෝගීතා සේවා බිල්පත් ගෙවීම් වැනි සේවාවන් සඳහා භාවිතා කළ හැකි ඉතාමත් ඉක්මන් හා පහසු විසඳුමක් ලෙසත් හැඳින්විය හැකියි.” දිනේෂ් ජෙබමනි මහතා වැඩිදුරටත් පැවසී ය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව