Deep Tec Engineering, තිරසර ජල සහ සූර්ය බල විසඳුම් සමඟින් ග්‍රාමීය ශ්‍රී ලංකාව නඟාසිටුවයි

1- Thilina Hettiarachchi, Managing Director of Deep Tec Engineering (LBN)

ශ්‍රී ලංකාව තුළ තිරසර ජල සම්පාදන විසඳුම් සැපයීමේ ප්‍රමුඛයෙකුවන Deep Tec Engineering පුද්ගලික සමාගම ග්‍රාමීය ප්‍රදේශ ආවරණයවන පරිදි නවෝත්පාදන සහ පරිසර හිතකාමී නව ජල සම්පාදන විසඳුම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. පිටිසර සහ ගොවි ප්‍රජා වෙත ජල විසඳුම් ලබාදීමේ අරමුණින් 2015 වසරේදී ආරම්භ කළ Deep Tec Engineering සමාගම මේ වනවිට මෙරට පුනර්ජනනීය ජල සම්පාදන ක්ෂේත්‍රය තුළ දැවැන්ත කාර්යභාරයක් ඉටුකරමින් සිටී

වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත සූර්ය බලැති ජල පොම්ප වෙළෙඳපොලෙන් 28%ක පංගුවක් හිමිකරගෙන සිටින සමාගම, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර සහයෝගීතා ආයතන සමඟ එක්ව වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 2කට ආසන්න වටිනාකමකින් යුත් සූර්ය බලැති ජල පොම්ප සැපයීමට සමත්ව තිබේ.

එවැනි දිගුකාලීන ජාත්‍යන්තර සබඳතා තුළින් ද සමාගමේ විශ්වාසනීයත්වය, පාරදෘශ්‍යතාව මෙන්ම ජාත්‍යන්තර තිරසර සහ ප්‍රජා සංවර්ධන ප්‍රමුඛතාවලට ඇති කැපවීම ද හොඳින් පිළිබිඹු වේ.

ගෙවුණු දශකය තුළ දිවයින පුරා තම සේවා ව්‍යාප්ත කිරීමට සමාගමට හැකිවූ අතර, ඒ හරහා දහස් ගණන් පවුල් ඒ්කක වෙත පානීය ජලය මෙන්ම කෘෂිකර්මාන්තය සහ ජිවනෝපාය සංවර්ධන වෙනුවෙන් ජලය සැපයීමට ද අවස්ථාව උදාවිය. විශේෂයෙන්ම සූර්ය බලශක්තිය භාවිතයෙන් ජල පොම්ප ක්‍රියාත්මක කරවීම නිසා වැඩි කාර්යක්ෂමතාවකින් මෙන්ම අඩු මිලට ජලය සැපයීමට හැකිවී තිබේ. තව ද එය පරිසර හිතකාමී තිරසර ක්‍රියාන්විතයකි.

Deep Tec Engineering සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ දැක්ම වන්නේ ද සිය ව්‍යාපාර මෙහෙවර තුළින් ග්‍රාමීය ශ්‍රී ලංකාව නඟාසිටුවීම ය. ඔහුගේ මෙම දැක්ම සහ වැඩපිළිවෙළ විවිධ අවස්ථා ගණනාවකදීම ඇගයුමටද පාත්‍රවිය. පසුගියදා පැවැති Iconic Awards 2025 සම්මාන උළෙලේදී ද ඔහු 20025 වසරේ හොඳම ව්‍යවසායකයා ලෙස සම්මාන දිනාගැනීමට සමත්විය. පානීය ජලය ලබාගැනීමට ඇති මහජන ප්‍රවේශය වැඩිකිරීම, ගොවි පවුල් සවිබලගැන්වීම, පුනර්ජනනීය බලශක්ති භාවිතය දිරිගැන්වීම ආදිය ඊට මඟපෑදීය.

″ජලය සඳහා ඇති මහජන ප්‍රවේශය මූලික මිනිස් අයිතිවාසිකමක්. අපේ අරමුණ වන්නේ ඉතාම ග්‍රාමීය දුෂ්කර පළාත්වල වෙසෙන ජනතාවටත් එම මූලික අවශ්‍යතාව තිරසර ලෙස සැපයීමයි. එහිදී පුනර්ජනනීය බලශක්තිය කියන්නේ හුදෙක් තාක්ෂණික විසඳුමක් පමණක් නොවේ. එමඟින් ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ගෞරවනීය ලෙස ජීවත්වීමටත්, ආර්ථික ස්ථාවරත්වය ගොඩනඟාගැනීමටත් මඟපෑදෙනවා″, යනුවෙන් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන යටිතල පහසුකම් සංවර්ධනයට ඇති වර්තමාන ඉල්ලුමට සමගාමීව තවදුරටත් නවෝත්පාදන, ප්‍රජා සහභාගීත්ව සහ අරමුණු මත ගොඩනැඟුණු සබඳතා වෙනුවෙන් Deep Tec සමාගම ක්‍රියාශීලීව පෙරමුණ ගනු ඇත. එහිදී තම සූර්ය බලැති ජල සම්පාදන විසඳුම් ප්‍රසාරණය කිරීමත්, ජාතික පරිසර ඉලක්ක වෙත සහාය වීමත්, ග්‍රාමීය පවුල් ඒකක නඟාසිටුවීමත් සමාගමේ අරමුණු වී තිබේ.

සාර්ථක ගමන්මඟත්, ශක්තිමත් නායකත්වයත්, පැහැදිලි සමාජ මෙහෙවරත් සමඟ ශ්‍රී ලංකාවේ මීළඟ තිරසර සංවර්ධන පිම්ම ගැනීමට Deep Tec Engineering සූදානමින් සිටී.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව