
(නියාමන අනුමැතින්ට යටත්ව සිදු කෙරේ)
කොළඹදී: Capital Alliance Holdings PLC (CAL) සමාගම, සිංගප්පූරුවේ පිහිටි එහි පූර්ණ අයිතිය සහිත CAL Global Pte. Ltd. සමාගම හරහා හොංකොං හි ප්රමුඛ පෙළේ ආයෝජන අරමුදල් කළමනාකරණ සමාගමක් වන Asia Frontier Capital Ltd. (AFC) හි 51% ක කොටස් හිමිකාරිත්වය අත්පත් කර ගැනීම සඳහා ගිවිසුමකට එළඹ තිබේ. මෙම යෝජිත අත්පත් කර ගැනීම හොංකොං හි සුරැකුම්පත් හා අනාගත ගනුදෙනු කොමිෂන් සභාව (SFC) ඇතුළු අදාළ නියාමන ආයතනවල අනුමැතියන්ට යටත්ව සිදු කිරීමට නියමිතය.
මෙම ආයෝජනය CAL සමාගමේ ජාත්‍යන්තර ව්‍යාප්තියේ තීරණාත්මක පියවරක් වන අතර, එමඟින් ප්‍රත්‍යන්ත ආයෝජන (Frontier Markets) ක්ෂේත්රයේ CAL හි ශක්තිය තවදුරටත් තහවුරු වේ. මේ ඔස්සේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිංගප්පූරුව යන රටවල CAL හි දැනට පවතින මෙහෙයුම්, AFC හි හොංකොං ජාලය මෙන්ම වියට්නාමය, උස්බෙකිස්තානය සහ ඉරාකය යන රටවල පවතින සක්‍රීය කණ්ඩායම් සමඟ සෘජුවම සම්බන්ධ වේ.
2013 වසරේදී තෝමස් හගර් (Thomas Hugger) මහතා විසින් ආරම්භ කරන ලද AFC සමාගම, දැනට ඇමෙරිකානු ඩොලර් මිලියන 125 කට අධික වත්කම් ප්‍රමාණයක් (AUM) කළමනාකරණය කරයි. AFC සමාගම යටතේ ක්‍රියාත්මක වන AFC Asia Frontier Fund මෙන්ම වියට්නාමය, ඉරාකය සහ උස්බෙකිස්තානය වෙනුවෙන් වෙන්වූ විශේෂිත ආයෝජන අරමුදල් (Country Funds) පවතියි. එමෙන්ම, AFC යනු දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කොටස් වෙළෙඳපොළවල් හි ආයෝජනය කර ඇති, කලාපීය ආයෝජන ප්‍රජාවගේ ඉහළ ඇගයීමට ලක්වූ ආයෝජන සමාගමකි.
මෙම සහයෝගීතාවය පිළිබඳ අදහස් දක්වමින් CAL හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී කනිෂ්ක මාන්නක්කාර මහතා මෙසේ සඳහන් කළේය.
“ලොව වේගයෙන්ම වර්ධනය වන ආයෝජන අවස්ථා ප්‍රත්‍යන්ත වෙළෙඳපොළවල් (Frontier Markets) තුළ පැවතියත්, ජාත්‍යන්තර ආයෝජකයින්ට ඒ වෙත ළඟාවීම අභියෝගාත්මකයි. මෙම හවුල්කාරිත්වය මඟින් එම බාධකය ඉවත් වනවා. එමෙන්ම, මේ හරහා හොංකොං වැනි ලොව ප්‍රමුඛතම මූල්‍ය මධ්‍යස්ථානයකට මෙන්ම තවත් නැගී එන වෙළෙඳපොළවල් තුනකට පිවිසීමට අපට අවස්ථාව ලැබෙනවා. AFC සමාගම සමඟ එක්ව ජාත්‍යන්තර ප්රාග්ධනය මෙම වෙළෙඳපොළවල් වෙත යොමු කිරීමටත්, අපගේ කලාපීය ආයෝජකයින්ට නව ජාත්‍යන්තර ආයෝජන අවස්ථා විවෘත කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.”
AFC හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී තෝමස් හගර් (Thomas Hugger) මහතා මෙලෙස අදහස් දැක්වීය.
“ප්‍රත්‍යන්ත වෙළෙඳපොළවල් තුළ සාර්ථක වීමට දේශීය වෙළෙඳපොළ පිළිබඳ අවබෝධය සහ ඉවසීම අත්‍යවශ්‍ය වන අතර CAL සමාගම සතුව ඒ දෙකම පවතිනවා. අපගේ ආයෝජකයින්ට පවතින කළමනාකාරීත්වය, ආයෝජන ක්‍රියාවලිය සහ ස්වාධීනත්වය ඒ ආකාරයෙන්ම හිමිවන අතරම, CAL හි දත්ත හා පර්යේෂණ ක්ෂේත්රයේ පවතින ප්‍රගතිය, ණය වෙළෙඳපොළ (Fixed Income) පිළිබඳ පළපුරුද්ද සහ ශක්තිමත් ආයතනික පසුබිම මඟින් AFC හි ඉදිරි ගමන තවදුරටත් වේගවත් මෙන්ම ශක්තිමත් කරනු ඇත.”
2000 වසරේදී ආරම්භ වී 2025 වසරේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වූ CAL සමාගම, ආයෝජන බැංකුකරණය, වත්කම් කළමනාකරණය, කොටස් සහ ණය වෙළෙඳපොළ පර්යේෂණ සේවා සපයන අතර, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 කට අධික වත්කම් ප්‍රමාණයක් කළමනාකරණය කරයි.
මෙම අත්පත් කර ගැනීම සම්පූර්ණ වූ පසු, අදාළ නියාමන අනුමැතීන්ට යටත්ව, ප්‍රත්‍යන්ත වෙළෙඳපොළ ස්ථාවර ආදායම් (Frontier Fixed Income) ආයෝජන ඇතුළු නව ආයෝජන නිෂ්පාදන කිහිපයක් හඳුන්වා දීමට CAL සහ AFC සමාගම් සැලසුම් කර ඇත.


