BYD සහ John Keells සමූහය එක්ව විදුලි මෝටර් රථ ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Image 01

 



 

 

Shenzhen, චීනය – 2023 නොවැම්බර් 22 වන දිනථ ලොව ප‍්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD, ශ‍්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන John Keells Holdings PLC (JKH) සමඟ අත්වැල් බැඳගනිමින් නවීන බලශක්ති මෝටර් රථ (New Energy Vehicles/NEV) ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දෙන බව නිවේදනය කළේය.

BYD ආසියා පැසිෆික් මෝටර් රථ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරී Liu Xueliang සහ John Keells සමූහ ව්‍යාපාරයේ සභාපති ක‍්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරුන් Shenzhen හි BYD ප‍්‍රධාන මූලස්ථානයේදී පැවති උත්සවයට සමගාමීව මීට අදාළ ගිවිසුම්වලට අත්සන් තැබිණ.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් Liu Xueliang පැවසුවේ ‘‘අප හා අත්වැල් බැඳගත් John Keells සමූහය අපගේ ප‍්‍රධාන මූලාස්ථානයට පැමිණීම පිළිබඳව අප ඉමහත් සතුටට පත් වනවා. පසුගිය වසර 28 පුරාවට BYD තාක්‍ෂණික නවෝත්පාදනයන් සහ පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් නිරතුරුවම කැපවී සිටියා. ලොව පුරා විවිධාකාර ජීවන රටාවන් සමඟින් පරිසර හිතකාමී ප‍්‍රවාහන විකල්ප ඒකාබද්ධ කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. මෙම හවුල්කාරීත්වය හරහා ශ‍්‍රී ලංකාව තුළ උසස්, පරිසර හිතකාමී මෝටර් රථ හඳුන්වා දීමට අපට හැකියාව ලැබෙන අතර, පරිසර හිතකාමී තේරීම් එකිනෙකට වෙනස් වූ ජීවන රටාවන් තුළට ඇතුලත් කිරීම සහ ජනතාවගේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට ‘විදුලි වාහනය’ පත් කිරීම සඳහා වන අපගේ ඉලක්කය ඉදිරියට ගෙන යාමට හැකි වනවා.’’ යනුවෙනි.

තිරසාරභාවය සඳහා වන සිය කැපවීම අවධාරණය කරමින්, John Keells සමූහයේ සභාපති ක‍්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සඳහන් කළේ ‘‘පාරිසරික, සමාජීය සහ පාලන (ESG) මූලධර්ම අපගේ ව්‍යාපාරික ක‍්‍රියාවලීන්, සේවා ස්ථාන සංස්කෘතිය සහ ප‍්‍රජා සත්කාර වැඩසටහන් තුළ ගැඹුරින් කාවැදී තිබෙනවා. ශ්‍රී ලංකාව උදෙසා තිරසාර අනාගතයක් ගොඩනැගීම සඳහා වන අපගේ කැපවීම BYD සමඟ වන හවුල්කාරිත්වය මගින් ගෙන ඒමට අපි බලාපොරොත්තු වනවා. මෙම සහයෝගීතාවය හරහා අපි ශ‍්‍රී ලංකාවට උසස් NEV මාදිලි හඳුන්වා දෙන අතරම ජනතාවට ලොව ප‍්‍රමුඛතම NEV තාක්ෂණයන් අත්විඳීමට මෙන්ම පරිසර හිතකාමී සහ තිරසාර ශ‍්‍රී ලංකාවක් කරා යන ගමනට දායක වීමට හැකි වේවි”‍ යනුවෙනි.

NEV තාක්ෂණයේ පුරෝගාමියෙකු ලෙස BYD හට බැටරි, විදුලි මෝටර සහ ඉලෙක්ට්‍රොනික පාලක වැනි මූලික උපාංග සංවර්ධනය කිරීම සහ නිෂ්පාදනය කිරීම පිළිබඳ දශක ගණනාවක අත්දැකීම් ඇත. සිය බලශක්ති පද්ධති, බැටරි, drive motors සහ මෝටර් පාලක පද්ධති ඔවුන් විසින්ම නිර්මාණය කරන ලෝකයේ එකම NEV නිෂ්පාදකයා BYD වේ.

අද වන විට BYD හි නව බලශක්ති වාහන මහාද්වීප 6 ක් පුරා රටවල් 70 කට වැඩි සංඛ්‍යාවක සහ නගර 400 කට වැඩි සංඛ්‍යාවක ක‍්‍රියාත්මක වේ. 2022 දී පමණක් BYD විසින් ලොව පුරා NEV මිලියන 1.86 කට වඩා වැඩි ප‍්‍රමාණයක් අලෙවි කර ඇත. 2023 අගෝස්තු 9 වන දින, BYD සිය මිලියන 5 වන NEV නිපදවනු ලැබූ ලොව පළමු මෝටර් රථ නිෂ්පාදකයා බවට පත් වෙමින් කැපී පෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

JKH පිළිබඳව

කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත විශාලතම සමාගම් සමූහය වන JKH විවිධ අංශ 7ක් හරහා සමාගම් 70කට අධික සංඛ්‍යාවක් ක‍්‍රියාත්මක කරයි. වසර 150ක ඉතිහාසයකට හිමිකම් කියන JKH හි 15,000කට වැඩි පිරිසක් සේවය කරයි. LMD සඟරාව විසින් වසර 18ක් පුරා ශ‍්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවනීය ආයතනය’ ලෙස JKH ශ්‍රේණිගත කර ඇත. මීට අමතරව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා විසින් ‘Transparency in Corporate Reporting Assessment’  තුළ JKH අඛණ්ඩව වසර තුනක් ප‍්‍රථම ස්ථානය සඳහා ශ්‍රේණිගත කර ඇත. JKH, ලෝක ආර්ථික සංසදයේ සහ UN Global Compact හි සාමාජිකයෙකු ලෙස ගෝලීය මුලපිරීම් සඳහා සක‍්‍රීයව සම්බන්ධ වේ. තවද, සිය ආයතනික සමාජ වගකීම් (CSR) දැක්ම වන “Empowering the Nation for Tomorrow” ජෝන් කීල්ස් පදනම හරහා ක‍්‍රියාත්මක කරනු ලබන අතර ‘Plasticcycle’ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ‍්‍රී ලංකාවේ ප්ලාස්ටික් දුෂණය අවම කිරීමට ද ඔවුන් දායකත්වය ලබා දෙයි.

BYD පිළිබඳව

බැටරි නිෂ්පාදකයෙකු ලෙස 1995 දී ආරම්භ කරන ලද බහුජාතික අධි-තාක්ෂණික සමාගමක් වන BYD, මෝටර් රථ, දුම්රිය ප‍්‍රවාහනය, නව බලශක්තිය සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ආවරණය කරන පුළුල් විවිධාංගීකරණය වූ ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී ඇත. චීනය, එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, බ‍්‍රසීලය, හංගේරියාව සහ ඉන්දියාව ඇතුළුව ලොව පුරා කාර්මික උද්‍යාන 30 කට අධික සංඛ්‍යාවක ක‍්‍රියාත්මක වන BYD තාක්ෂණික නවෝත්පාදනයන් පුද්ගලයින්ගේ ජීවිත වැඩිදියුණු කිරීම උදෙසා භාවිතා කිරීමට කැපවී සිටී. ශුන්‍ය කාබන් විමෝචන බලශක්ති විසඳුම් සඳහා විශේෂිත වූ BYD හි නව බලශක්ති වාහන මහාද්වීප 6 ක, රටවල් 70 කට වැඩි සංඛ්‍යාවක සහ නගර 400 කට වඩා වැඩි සංඛ්‍යාවක ක‍්‍රියාක්මක වේ. ෆෝචූන් ග්ලෝබල් 500 සමාගමක් ලෙස හොංකොං සහ ෂෙන්සෙන් කොටස් වෙළඳපොලවල ලැයිස්තුගත කර ඇති BYD හරිත ලෝකයක් කරා යන ගමනේදී කැපවීමෙන් කටයුතු කරයි. වැඩි විස්තර සඳහා www.bydglobal.com වෙත පිවිසෙන්න.

BYD Auto පිළිබඳව

2003 දී ආරම්භ කරන ලද, BYD Auto යනු බහුජාතික අධි-තාක්ෂණික සමාගමක් වන BYD හි මෝටර් රථ අංශය වන අතර තාක්ෂණික නවෝත්පාදනයන් පුද්ගලයින්ගේ ජීවිත වැඩිදියුණු කිරීම උදෙසා භාවිතා කිරීමට කැපවී සිටී. BYD Auto සම්පුර්ණයෙන්ම විද්‍යුත් සහ plug-in hybrid වාහන නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් පරිසර හිතකාමී ප‍්‍රවාහනය වෙත පරිවර්තනය වීමට ක‍්‍රියා කරයි. බැටරි සහ විදුලි මෝටර වැනි නව බලශක්ති වාහන සඳහා ප‍්‍රධාන තාක්ෂණයන් ප‍්‍රගුණ කරමින් BYD Auto, Blade Battery සහ DM-i Super Hybrid Technology වැනි දියුණු තාක්ෂණ ක‍්‍රම හඳුන්වා දී ඇත. විද්‍යුත් වාහන වෙත මාරුවීමේ පුරෝගාමියා ලෙස BYD Auto, ෆොසිල ඉන්ධන වාහන නිෂ්පාදනය ප‍්‍රථමයෙන් නතර කළ සමාගම වූ අතර අඛණ්ඩව වසර 10 ක් චීනයේ නව බලශක්ති මගී වාහන අලෙවියෙහි ප‍්‍රමුඛ ස්ථානය හිමි කර ගෙන ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව