
AI Academy සහ බර්ලින් හි පිහිටි Tomorrow University of Applied Sciences අතර ඇති කරගත් නව පෞද්ගලික-රාජ්‍ය සබඳතාවය ඔස්සේ ශ්‍රී ලාංකික සිසුන්ට සහ වෘත්තිකයන්ට කොළඹ සිටම ප්‍රායෝගික රැකියා පළපුරුද්ද ලබන අතරතුර ජර්මනියේ රාජ්‍ය අනුමැතිය ලත් උපාධි ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.
මෙම සහකාරීත්වය යටතේ Tomorrow University මගින් පිරිනමන “BSc in Applied AI” (ප්‍රායෝගික AI පිළිබඳ විද්‍යාපති) සහ “MBA in AI & Technological Transformation” යන උපාධි පාඨමාලා දෙක AI Academy හි දේශීය ඉන්කියුබේටර් ආකෘතිය හරහා පිරිනැමෙනු ඇත. අගෝස්තු 24 වන දින Hatch හි පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මෙම වැඩසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එහි මූලික අරමුණ වන්නේ පළමු දිනයේ සිටම රැකියාවක් සහ උපාධියක් එකවර ලබා දීමයි.
අධ්‍යාපනය සහ රැකියාව වෙනස් අදියර දෙකක් ලෙස සැලකීම වෙනුවට, AI Academy සිසුන් සිය අධ්‍යයන කටයුතු ආරම්භයේ සිටම දේශීය හා ජාත්‍යන්තර සමාගම් සඳහා වැටුප් සහිත සැබෑ ව්‍යාපෘතිවල නිරත වනු ඇත. එමගින් පූර්ණ විශ්වවිද්‍යාල උපාධියක් හදාරන අතරතුර ප්‍රායෝගික පළපුරුද්ද, ව්‍යාපාරික අභියෝග සඳහා විසඳුම් සෙවීම සහ ශක්තිමත් කළඹක් ගොඩනඟා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබේ.
මෙමගින් ශ්‍රී ලාංකික සිසුන්ට විදේශගත නොවී ජර්මානු උසස් අධ්‍යාපන උපාධියක් ලබා ගත හැක. ජර්මනියේ හෙසේ ප්‍රාන්තය යටතේ රාජ්‍ය අනුමැතිය ලත් පෞද්ගලික ආයතනයක් වන Tomorrow University හි MBA පාඨමාලා ACQUIN හරහා ජර්මානු පිළිගැනීමේ කවුන්සිලය මගින්ද, උපාධි පාඨමාලා FIBAA මගින්ද ප්‍රමිතියෙන් සහ ජාත්‍යන්තරව පිළිගෙන ඇත.
Tomorrow University හි MBA පාඨමාලාව ව්‍යාපාරික නායකත්වය සහ තාක්ෂණික හැකියාවන් එක් කිරීමට බලාපොරොත්තු වන වෘත්තිකයන් සඳහා විශේෂයෙන් සකසා ඇති අතර, BSc in Applied AI පාඨමාලාව ප්‍රායෝගික ඉගෙනුම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම පාඨමාලා දෙකම විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික දැනුම යෙදවීම සහ අභියෝග පදනම් කරගත් ඉගෙනුම් ක්‍රමවේදයට සහාය දක්වයි.
AI Academy හි නිර්මාතෘ ලින්ඩා ස්පෙල්ඩෙවින්ඩේ මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසුවාය: “AOD හිදී අපි නිර්මාණකරණය ඉගැන්වීම විතරක් නෙවෙයි කළේ, අපි ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් ලෝකයට යැව්වා. අද වෙනකොට ලෝකයේ හොඳම නිර්මාණ පාසල්වල උපාධිධාරීන් එක්ක කරට කර සිටිමින් ජාත්‍යන්තරව තමන්ගේම නමක් දිනාගන්න ඔවුන්ට හැකිවෙලා තියෙනවා. ඒ දේ සිද්ධ වුණේ අපි නිර්මාණ අධ්‍යාපනයට වෙනස් විදිහකට ප්‍රවේශ වුණු නිසයි: පළමු දිනයේ සිටම සැබෑ වැඩ, සැබෑ සේවාදායකයින්, සහ සැබෑ අභියෝග මත පදනම් වෙමින්. AI Academy ගොඩනගලා තියෙන්නෙත් ඒ සමාන විශ්වාසය මතයි. දැන් එය සෑම කර්මාන්තයක්ම පරිවර්තනය කරන ක්ෂේත්රයකට යොදවා තිබෙනවා. සිසුන්ට ඉපැයීම, ඉගෙනීම සහ තමන්ගේම දෙයක් නිර්මාණය කිරීම අතරින් එකක් තෝරා ගැනීමට සිදු නොවිය යුතුයි. කොළඹ සිටම ඒ තුනම කිරීමට ඔවුන්ට හැකි විය යුතුයි.”
තාක්ෂණය, ඇඟලුම්, තේ, සංචාරක, ලොජිස්ටික්ස් සහ රාජ්‍ය අංශය වැනි කර්මාන්තවල ඇති අභියෝග සහ රැකියා පුහුණුවීම් හරහා මෙම වැඩ කරමින් ඉගෙනීමේ ක්‍රමය සිසුන්ව කර්මාන්ත ක්ෂේත්රය සමඟ සමීප සබඳතාවයකට පත් කරයි. සිසුන් සහ මහාචාර්යවරුන් සමඟ එකතු වී නිර්මාණය කරන ලද AI ව්‍යාපාර සඳහා හවුල්කාර සමාගම්වලට මුලින්ම ප්‍රවේශ වීමට ඉඩ සැලසීම AI Academy හි පවතින ආකෘතියේ පදනම වන අතර, එය සිසුන්ගේ අධ්‍යාපනය පුරාම සම්බන්ධ වීමට අවස්ථාව ලබා දෙයි.
මෙම ආකෘතිය පාසල් හැරගිය සිසුන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට විදේශගතව ඉගෙනීම සහ සම්ප්‍රදායික දේශීය උපාධියක් ලබා ගැනීම අතර සාමාන්‍යයෙන් මුහුණ දෙන තේරීමට හොඳ විකල්පයක් සපයයි. Tomorrow University හරහා සිසුන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ජාත්‍යන්තර සිසුන්, කථිකාචාර්යවරුන් සහ ජර්මානු විශ්වවිද්‍යාල උපාධියක් සඳහා ප්‍රවේශය හිමිවේ.
මෙම MBA පාඨමාලාව සකස් කර ඇත්තේ අධ්‍යාපනය සඳහා රැකියාවෙන් ඉවත් වීම ප්‍රායෝගික නොවන බව වටහාගෙන සිටින වෘත්තිකයන් සඳහාය. ඒ වෙනුවට, වෘත්තිකයන්ට තමන්ගේ වෘත්තීය ජීවිතයේ රැඳී සිටිමින් නව AI සහ තාක්ෂණික හැකියාවන් වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබේ.
මෙම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ ඊළඟ කාර්මික සහ ආර්ථික සංවර්ධන අදියර තීරණය වන්නේ සුදුසුකම් ලත් පුද්ගලයින් සංඛ්‍යාව මත පමණක් නෙවෙයි; ඒ සුදුසුකම්වලින් ඔවුන්ට කළ හැකි දේ මතයි. තාක්ෂණය සමඟ වැඩ කිරීමට, ගැටලු තේරුම් ගැනීමට සහ දැනුම වටිනාකමක් බවට පත් කිරීමට හැකි පුද්ගලයින් කර්මාන්තයට අවශ්‍යයි. එම නිසා, රටේ කුසලතා සහ ව්‍යවසායකත්ව න්‍යාය පත්‍රය රඳා පවතින්නේ අධ්‍යාපනය සැබෑ ව්‍යාපාරික ලෝකයට සමීප කරවන අධ්‍යාපනික ආකෘති මතයි.”
අධ්‍යාපනය පිළිබඳ හවුල් ප්‍රවේශය මෙම සහකාරීත්වයේ තවත් පදනමකි. AI Academy සහ Tomorrow University යන ආයතන දෙකම ස්වාධීනව එකම නිගමනයකට පැමිණ ඇත. අධ්‍යාපනය අභියෝග පදනම් කරගත්, කාර්ය සාධනය සමඟ බද්ධ වූ සහ අදහස් පරීක්ෂා කර සංවර්ධනය කළ හැකි පරිසරයකින් සහාය ලබන විට, AI තාක්ෂණය මත පදනම් වූ ආර්ථිකයකට සිසුන් වඩා හොඳින් සූදානම් වේ.
Tomorrow University of Applied Sciences හි නිර්මාතෘ ක්‍රිස්ටියන් රෙබර්නික් මහතා මෙසේ පැවසීය.”අනාගත රැකියා සහ අධ්‍යාපනය එකිනෙකට තදින් බැඳී පවතිනවා. AI මගින් ආයතන ක්‍රියාත්මක වන ආකාරය දැනටමත් වෙනස් කරමින් පවතින නිසා, සිසුන්ට තාක්ෂණය පිළිබඳ මූලික අවබෝධයට අමතරව සංකීර්ණ සහ වෙනස් වන අවස්ථාවන් සඳහා තාක්ෂණය යෙදවීමට හැකි විය යුතුයි. ඒ විශ්වාසය AI Academy සමඟ ඇති අපගේ සහකාරීත්වයෙන් පිළිඹිඹු වෙනවා. උපාධිය වටා ඇති ප්‍රායෝගික වැඩසටහන් සිසුන්ට පරීක්ෂා කිරීමට, ප්‍රශ්න කිරීමට සහ ගොඩනැගීමට ඉඩ සලසන අතරතුර, උපාධිය මගින් අධ්‍යයන පදනම සපයනවා.”
ToU-AOD හි ලින් ගොං ඩොයිච්මන් මහත්මිය, මෙම ආයතන දෙකම වෙන වෙනම වර්ධනය වුවද එකිනෙකට සමීප අධ්‍යාපනික ආකෘති අනුගමනය කරන බව හඳුනා ගනිමින් ඔවුන් අතර සබඳතාව ගොඩනැගීමට සහාය වූවාය.
ලින් ගොං ඩොයිච්මන් මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය: “මා සිත් ගත්තේ ආයතන දෙකක් එකතු වීමට කැමැත්තෙන් සිටීම පමණක් නෙවෙයි. ඔවුන් හමුවීමට පෙර සිටම පාහේ එකම ප්රශ්නය අසමින් සිටීමයි: මිනිසුන්ට සැබවින්ම විසඳීමට අවශ්‍ය ගැටලු වටා අධ්‍යාපනය ගොඩනැගුණහොත් කුමක් සිදුවේද? එය පැහැදිලි වූ පසු, මෙම සහකාරීත්වය අලුත් දෙයක් නිර්මාණය කිරීමට වඩා පවතින අදහස් දෙකක් එකතු කිරීමක් ලෙස දැනුණා.”
ස්ථාපිත ආයතන තුළ වෙනස්කම් ඇති කළ හැකි නායකයින් බිහි කිරීමට අමතරව, මෙම ඉන්කියුබේටර් ආකෘතිය මගින් අනාගත ව්‍යවසායකයින්ට උපදේශකයින්ගේ සහ කර්මාන්ත ක්ෂේත්රයේ සහාය ඇතිව අදහස් වර්ධනය කිරීමට සහ පරීක්ෂා කිරීමට ඉඩ සලසයි. සිසුන් AI Academy හි වාර්ෂික APEX Summit සංවිධානය කිරීමට සහ පැවැත්වීමටද වගකිව යුතු අතර, එමගින් ඔවුන්ගේ නිර්මාණ කර්මාන්තයට, රැකියා යෝජකයින්ට සහ ආයෝජකයින්ට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ.
තාක්ෂණික හා ව්‍යාපාරික ඉගෙනුම ප්‍රායෝගික සමාජීය ප්‍රතිඵලයක් සමඟ සම්බන්ධ කරන අතිරේක වැඩසටහන්ංගයක් ලෙස, සෑම උපාධිධාරියෙකුම අඩු පහසුකම් සහිත සමාජයක් වෙනුවෙන් AI ව්‍යාපෘතියක් නිර්මාණය කර ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වේ.
ස්වාධීන කර්මාන්ත නියෝජිතයෙකු සහ තාක්ෂණික ව්‍යවසායකයෙකු වන ජීවන් ඥානම් මහතා මෙසේ පැවසීය. “තාක්ෂණය තියරියෙන් විතරක් ඉගෙන ගත්ත උපාධිධාරීන් ශ්‍රී ලාංකීය කර්මාන්තයට තවත් අවශ්‍ය නැහැ. කර්මාන්තයට අවශ්‍ය කරන්නේ සේවාදායකයෙක් එක්ක වැඩ කරලා, අභියෝගාත්මක ගැටලුවක් විසඳලා, තීරණ අරන් ඒ තීරණවල ප්‍රතිඵල එක්ක වැඩ කරපු පළපුරුද්ද තියෙන අයයි. මෙම ආකෘතිය මගින් පිළිගත් උපාධියක් සමඟ ඒ අත්දැකීම ලබා දෙන්නේ නම්, රැකියා ස්ථානයට පිවිසෙන උපාධිධාරියා සහතිකය විතරක් අතැතිව එන අයෙකුට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇත.”
මෙම වැඩසටහන ආරම්භ වන්නේ AI තාක්ෂණය තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයෙන් ඔබ්බට නිෂ්පාදන, ඇඟලුම්, සංචාරක, ලොජිස්ටික්ස්, කෘෂිකර්මාන්තය සහ සේවා වැනි ක්ෂේත්රවලට ව්‍යාප්ත වන වකවානුවකය. එම නිසා, AI Academy හි මෙම ආකෘතිය තාක්ෂණික ක්ෂේත්රයේ රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන්නේද නැද්ද යන්න නොසලකා, AI භාවිත කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට කැමති සියලුම වෘත්තිකයන් සහ සිසුන් සඳහා සකස් කර ඇත.
දේශීය ඉන්කියුබේටර් ආකෘතිය මගින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව පසුබිම සපයන අතර, මෙම සහකාරීත්වය මගින් සිසුන්ට ජාත්‍යන්තර කථිකාචාර්යවරුන් සහ සිසුන් ඇතුළු ජාත්‍යන්තර ඉගෙනුම් පරිසරයකට කොළඹ සිටම ප්‍රවේශ වීමේ අවස්ථාව ලබා දෙනු ඇත.
එබැවින් BSc in Applied AI සහ MBA in AI & Technological Transformation යන උපාධි මගින් අධ්‍යාපනය යනු රැකියාවට පෙර තබන තාවකාලික නැවතීමක් ලෙස නොසලකයි. රැකියාව ආරම්භ වන්නේම උපාධියත් සමඟය.


