උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අර්ජුන රණතුංග මහතා එක්වෙයි
මුළුමහත් ශ්‍රී ලංකාවම උත්සවශ්‍රීයෙන් ඇළලී ගිය සුවිශේෂී මොහොතක් වූ 1996 ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වන සංවස්තරය සැමරීම සඳහා විශේෂ උත්සවයක් සංවිධානය කිරීමට අමානා බැංකුව පසුගියදා කටයුතු කළේ ය. එහි සැමරුමේ අංගයක් ලෙස සිය සමාජ මාධ්‍ය පදනම් කර ගනිමින් ප්‍රශ්න විචාරාත්මක තරගයක් පැවැත්වීමට අමානා බැංකුව කටයුතු කළේ ය. එහිදී ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් ප්‍රශ්න මාලාවක් විමසන ලදි. සියලුම ප්‍රශ්නවලට පිලිතුරු ලබාදීමෙන් එම තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට කවීෂා සේනාවීර, උස්මාන් ගවුස් සහ ඉෂ්රත් ඉම්තියාස් යන අය සමත් විය.
අමානා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා එක්වූ අතර මෙම අවස්ථාවට අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහමඩ් අස්මීර් මහතා, ප්‍රධාන අවදානම් නිලධාරී එම්. එම්. එස්. කුවෙලිඩ් මහතා, ප්‍රධන තොරතුරු තාක්ෂණ නිලධාරී රජිත දිසානායක මහතා, උප සභාපති (මෙහෙයුම්) ඉම්තියාස් ඉක්බාල් මහතා, උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවි) සිද්දීක් අක්බාර් මහතා සහ නීති ප්‍රධානී සුලානි දයාරත්න මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගී වූහ. මෙම සැමරුම වෙනුවෙන් පැවති විශේෂ තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීම අමතරව ලෝක කුසලානය දිනා රටට අත්කර දුන් කීර්තිය වෙනුවෙන් අර්ජුන රණතුංග මහතා වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනැමීමටද අමානා බැංකුව කටයුතු කළේ ය.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා මෙසේ පැවසී ය. “25 වසරකට පෙර ලබාගත් මේ සුප්‍රකට ජයග්‍රහණය සම්බන්ධයෙන් ජනතාව තුළ තවමත් මෙතරම් උනන්දුවක් පවතිනු දැකීම ඉමහත් සතුටක් සහ ගෞරවයක්. කවර අභියෝග වලට මුහුණ දීමට සිදුවුවත් එදා අපට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හා කීර්තිය රැගෙන එමින්, ඒ ඓතිහාසික ජයග්‍රහණය වටා මුළු රටම එකමුතු කිරීමට හැකියාව ලැබුණා. එම ජයග්‍රහණය ඇගයීම සහ ඒ පිළිබඳ මතක අවදි කිරීම සම්බන්ධයෙන් මා අමානා බැංකුවට ස්තූතිවන්ත වනවා. ලෝක කුසලාන තරගාවලියට අදාළ තොරතුරු සම්බන්ධයෙන් විශිෂ්ට දැනුමක් ප්‍රදර්ශනය කළ මේ ජයග්‍රාහකයන් තිදෙනාට සුභ ප්‍රාර්ථනා කිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.”
අමානා බැංකුවේ ප්‍රමුඛතම ප්‍රජා සත්කාරය වන OrphanCare වැඩසටහන සම්බන්ධයෙන්ද රණතුංග මහතා අදහස් දැක්වී ය. “රැකවරණය අහිමි දරුවන්ට අත්වැලක් වීම සහ ඔවුන්ගේ යහපත උදාකර දීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කෙනෙකු වශයෙන්, එම දරුවන් ළමා වියේ සිට වැඩිහිටි විය දක්වා ගමන් කිරීමේදී ඔවුන්ට අත්වැලක් වීම අරමුණු කරගත් OrphanCare වැඩසටහන සැබැවින්ම ආදර්ශමත් වැඩසටහනක් ලෙස මා දකිනවා. මෙම කාලසීමාව එම දරුවන්ගේ ජීවිත වල පරිවර්තන අවධියක් වන අතර එම කාලය තුළදී ඔවුන් බොහෝ දුරට නොසලකා හැරීම් වලට ලක්වනු අපට දැකගන්නට පුළුවන්. මේ උතුම් වූ සත්කාරය සමග සම්බන්ධ වීමට මා උනන්දුවෙන් පසුවන අතර, ක්‍රිකට් ක්‍රීඩාව රටේ මිලියන 20 කට අධික ජනතාවක් එකමුතු කළ ආකාරයටම, මෙම පණිවිඩය මහජනතාවට මෙන්ම ජාත්‍යන්තරයටද රැගෙන යාමටත් අගනා පදනමක් සපයනු ඇති බවට මට විශ්වාසයි.”
අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “1996 ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අප පැවැත්වූ ප්‍රශ්න විචාරාත්මක තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනමන මේ මොහොතේ ගරු අර්ජුන රණතුංග මහතාද අප සමග එක්වීම අපට විශාල සතුටක්. ක්‍රිකට් යනු ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනාගේ හදවත් තුළ දේශප්‍රේමය පුබුදුවාලන දෙයක් බව, සමාජ මාධ්‍ය ඔස්සේ අප පැවැත්වූ මෙම තරගයට ලැබුණු සුවිශාල ප්‍රතිචාර වලින් නැවත වරක් ඔප්පු වුණා. මෙම අවස්ථාවට ‘කැප්ටන් කූල්’ විරුදාවලිය ලත් අර්ජුන රණතුංග මහතාගේ අදහස් හා අත්දැකීම් වලට සවන් දීමට ලැබීම මෙන්ම, මෙවැනි ජයග්‍රහණයකට මුල්වූ සුවිශේෂී නායකත්ව ගුණාංග සියැසින් දැකගැනීමට හැකිවීමත් අප ලද භාග්‍යයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. අප කාටත් එම නායකත්වයෙන් ඉගෙනගත හැකි පාඩම් බොහෝ තිබෙන බව මගේ විශ්වාසයයි. එමෙන්ම OrphanCare වැඩසටහන සම්බන්ධයෙන් ඔහුගෙන් ලැබුණු දිරිමත් කිරීම් සම්බන්ධයෙන් අප බෙහෙවින් ස්තූතිවන්ත වන අතර, ඉදිරියේදී ඒ සඳහා එතුමන්ගේ දායකත්වය හා සහයෝගය ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.”
උත්සවය අවසානයේදී අමානා බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජික මර්ෂාඩ් බාරී විසින් ලෝක කුසලාන ඉතිහාසය පිළිබඳව සිංහල භාෂාවෙන් ලියන ලද ග්‍රන්ථය අර්ජුන රණතුංග මහතා වෙත පිරිනමන ලදි.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ‘ඕෆන්කෙයාර්’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.