ලොව සුප්‍රකට ආයෝජක නතෑන්යල් රොත්ස්චයිල්ඩ් කොළඹ වරාය නගරයේ සංචාරයක

collage (10)

2021 ජනවාරි 15: ලොව සුප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජිකයෙකු වන නතෑන්යල් රොත්ස්චයිල්ඩ් මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ කෙටි ව්‍යාපාරික සංචාරයක නිරත විය. එහිදී ඒ මහතා ජනවාරි 14 දින කොළඹ වරාය නගරය වෙතද පැමිණියේ ය.

ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය දේශපාලඥයෙකු සහ යුරෝපා සංගමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිරන්ජන් දේව ආදිත්‍ය මහතා සහ ව්‍යාපාර ලොවේ ප්‍රවීණයෙකු වන රාජන් බ්‍රිටෝ මහතාද රොත්ස්චයිල්ඩ් මහතා සමග මෙම සංචාරයට එක්වී සිටියහ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ විධායක ව්‍යපෘති අධ්‍යක්ෂ රාජා එදිරිසූරිය මහතා සහ CHEC Port City Colombo සමාගමේ සහකාර කළමනාකාර අධ්‍යක්ෂ යුඑ් යේචිංග් මහතා ඇතුළුව කොළඹ වරාය නගරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් රොත්ස්චයිල්ඩ් මහතා ප්‍රමුඛ කණ්ඩායම පිළිගන්නා ලදි.

ඉන් අනතුරුව, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, එහි ඉදිකිරීම් වල ප්‍රගතිය සහ අනාගත සැලසුම් ආදිය සම්බන්ධයෙන් රොත්ස්චයිල්ඩ් මහතා ඇතුළු පිරිස දැනුවත් කෙරිණි. එහිදී රෝත්ස්චයිල්ඩ් මහතා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ගැනත්, විශේෂයෙන් එහි යාත්‍රාංගණය සහ සංචාරක කටයුතු වලට වෙන්කර ඇති ප්‍රදේශ ගැනත් විශේෂ උනන්දුවක් පෙන්නුම් කළේ ය.

ව්‍යාපාරික ලොව සුප්‍රකට පවුලක් වන රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජික සාමාජිකාවෝ ලොව පුරා විවිධ ක්ෂේත්‍ර වලට අයත් ව්‍යාපාර වලට සම්බන්ධ වී සිටිති. මෙම ව්‍යාපාර අතරින් රෝත්ස්චයිල්ඩ් බැංකුව සහ, ආද්‍රියාතික් මුහුදේ සුඛෝපභෝගී යාත්‍රා හා නිවාස ව්‍යාපෘතියක් වන ‘පෝර්ට් මොන්ටෙනේග්‍රෝ’ (Port Montenegro) විශේෂ තැනක් ගනී.

සංචාරය අවසානයේදී රොත්ස්චයිල්ඩ් මහතා වරාය නගර ව්‍යාපෘතිය අගය කරමින් අදහස් දැක්වී ය. CHEC Port City Colombo සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය රොත්ස්චයිල්ඩ් මහතා එහි පැමිණීම අගය කළ අතර, අනාගත සහයෝගීත්වයන් සම්බන්ධයෙන් ඉදිරියේදීද අදහස් හුවමාරු කරගැනීමටද උනන්දුව පළකළහ.

 




 

 

CHEC Port City Colombo සමාගමේ වාණිජ හා නෛතික ප්‍රධානී එරික් ඔයූ මහතා, ක්‍රමෝපාය හා ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී තුල්සි අලුවිහාරේ මහතා, අධ්‍යක්ෂිකා විකිණුම් හා අලෙවි යමුනා ජයරත්න මහත්මිය සහ විකුණුම් හා ආයෝජක සම්බන්ධතා පිළිබඳ මෙරට ප්‍රධානී රධික ඇල්ලේපොල මහතා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්වී සිටියහ.

පසුගිය වසරේදී කොළඹ වරාය නගරයේ ප්‍රථම ආයෝජන ගිවිසුම ලෙස, CHEC සමාගම සහ ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාගමක් වන LOLC සමාගම අතර විශේෂ ගිවිසුමකට අත්සන් තැබිණි. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම හරහා අත්සන් තබන ලද මෙම ගිවිසුම යටතේ ඩොලර් බිලියනයක ආයෝජනයක් සමගින් කොළඹ වරාය නගර පරිශ්‍රය තුළ කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙම වසරේ පළමු කාර්තුව තුළදී ශ්‍රී ලංකා රජය විසින් කොළඹ වරාය නගරයේ පාලන කටයුතු සඳහා විශේෂ ආර්ථික කලාප නීතිය හඳුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, මෙය ශ්‍රී ලංකාවට තවදුරටත් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට බෙහෙවින් වැදගත් වනු ඇත.

කොළඹ වරාය නගර පිළිබඳව

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙසින් අලූතින්ම ඉදිවන මූලික ආයෝජනය ඇමරිකානු ඩොලර් 1.4 ක් සහ සමස්ත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් වන නව්‍යතම නගර සංවර්ධන ව්‍යාපෘතියකි. මුහුද ගොඩ කිරීමෙන් බිහිකරන හෙක්ටයාර 269 ක මෙම අලූත්ම භූමි ප‍්‍රමාණය වත්මන් කොළඹ වාණිජ කලාපයට සහසම්බන්ධීය කෙරේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යාන වාසය, ජාත්‍යන්තර දිවයින, යාත‍්‍රාංගනය හා දුපත් වාසය ලෙස අනු කලාප 5 කින් නිර්මිතයි.

ඉදිකිරීම් අවසන් වූ විට කොළඹ වරාය නගරය, වර්ග මීටර මිලියන 5.7 ක් වූ භෞමික අවකාශයක නිර්මාණය වුණු ලොව උසස්ම මට්ටමේ ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ, අති නවීන සෞඛ්‍ය සේවා, ප‍්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලූ යාත‍්‍රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයීම සඳහා වෙන්වුණු විශේෂිත පහසුකම් වලින්ද සමන්විතයි. නූතන පරිසර හිතකාමී තිරසාර නගර සංකල්පය සහ සුහුරු නගර සංකල්පය අනුව ඉදිවන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේම කේන්ද්‍රීය මධ්‍යස්ථානය වනු ඇත.

ඡායාරූප සඳහා:

https://drive.google.com/drive/folders/1o8NwdginwaX2dKL7Ra95POpF-NWZ5lg_?usp=sharing

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව