කොමර්ෂල් බැංකුව සෙරන්ඩිබ් ෆයිනෑන්ස්, CBC ෆයිනෑන්ස් නමින් එළිදක්වයි

combank

කොමර්ෂල් බැංකුවට සම්පූර්ණයෙන්ම අයත් ලියාපදිංචි බැංකු නොවන මූල්‍යායතනය (NBFI) ලෙසින් CBC ෆයිනෑන්ස් සමාගම බැංකුව විසින් එළිදැක්වූ අතර මෙම සමාගම මීට පෙර සෙරන්ඩිබ් ෆයිනෑන්ස් සහ ඉන්ද්‍රා ෆයිනෑන්ස් නමින් අවස්ථා දෙකකදී හඳුන්වන ලදී.

මෙම සමාගම කොමර්ෂල් බැංකුව විසින් 2014 වසරේදී මිලදීගත් ගත් අතර අළුතෙන් ප‍්‍රතිව්‍යුහගතකරණය කළ මෙම සමාගම නව නාමය සහ නව ලාංඡනය සමග 2020 දෙසැම්බර් 30 වනදා සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කළබව බැංකුව සඳහන් කරයි.

මේ ආකාරයෙන් අළුතින් එළිදැක්වීම මගින් මෙම සමාගම එහි මව් සමාගම වන මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව සහ මෙරට වඩාත්ම සම්මානනීය බැංකුව වන කොමර්ෂල් බැංකුවේ නාමය සමග එක්ව ක්ෂණිකව හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබේ.

කොමර්ෂල් බැංකුව විසින් මෙම සමාගම මිලදීගැනීමෙන් පසුව එහි තිබූ නම වූ ඉන්ද්‍රා ෆයිනෑන්ස් නාමය සෙරන්ඩිබ් ෆයිනෑන්ස් නමින් වෙනස් කරන ලදී. මෙම සමාගමේ සමස්ත වත්කම් ප‍්‍රමාණය 2014 වසරේදී රුපියල් බිලියන 1.95 ක්වූ අතර එය 2020 නොවැම්බර් අවසන් වනවිට රුපියල් බිලියන 08 ක් දක්වා වර්ධනය වී ඇත. CBC ෆයිනෑන්ස් සමාගම සතුව දිවයින පුරා ශාඛා 10 ක් ක‍්‍රියාත්මක වන අතර එමගින් වාහන ලීසිං, උකස් සහ ව්‍යාපාරික ණය මෙන්ම ස්ථාවර තැන්පතු ඇතුළු පුළුල් පාරාසයක විහිදුණු මූල්‍ය සේවා මාලාවක් ලබාදෙයි.

 

 




 

මේ වනවිටත් CBC ෆයිනෑන්ස් සමාගම විසින් ලබාදී තිබෙන මූල්‍ය සේවා අතරට පුද්ගලික සහ වාණිජ වාහන, විශේෂ කාර්ය වාහන, කෘෂි කාර්මික උපකරණ ඇතුළු පුළුල් පරාසයක විහිදුණු වාහන සහ උපකරණ සඳහා ලීසිං පහසුකම් ලබාදීම, ආකර්ශනීය පොලී අනුපාත සමගින් ස්ථාවර තැන්පතු පහසුකම් ලබාදීම, ව්‍යාපාරික ණය, උකස් ණය ඇතුළු ණය පහසුකම් ලබාදීම ඇතුළත් වේ. CBC ෆයිනෑන්ස් සමාගමේ ශාඛා මහනුවර, කොළඹ, අනුරාධපුරය, කදුරුවෙල, දඹුල්ල, ඇඹිලිපිටිය, මාතර, කිරිබත්ගොඩ, කුරුණෑගල සහ මීගමුව යන ප‍්‍රදේශවල පිහිටා ඇත.

ආකර්ශණීය ලීසිං පොලී අනුපාතයන්, නම්‍යශීලි ගෙවීමේ විකල්පයන්, පාරිභෝගිකයාට ගැලපෙන ලීසිං පැකේජයන්, කරදරයකින් තොර ලියකියවිලි සහ වේගවත් අනුමත කිරීමේ ක‍්‍රියාවලියක් සහ විශේෂ රක්ෂණ පැකේජයන් සමාගම විසින් පාරිභෝගිකයින්ට ලබාදෙන බවය සමාගම සඳහන් කරයි.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 880 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව