කොමර්ෂල් බැංකුව තවත් පුරෝගාමී පියවරක් තබමින් ක්‍රෙඩිට් කාඞ්පත් වාර්තා වලට QR කේත එක් කරයි

QR code on Credit Card statements (2) (1)

කාඞ්පත් හිමියන්ට ජංගම දුරකතන ඇප් පහසුකමක් තුළින් නිවසේ සිටම ක්ෂණිකව සහ සුරක්ෂිතව හිඟ මුදල් පියවීමට අවස්ථාව

තම මාසික ක්‍රෙඩිට් කාඞ් වාර්තාවේ මුද්‍රණය කර ඇති QR කේතය ස්කෑන් කිරීම මගින් ක්ෂණිකව සහ ඉතාමත් පහසුවෙන් තම ක්‍රෙඩිට් කාඞ්පත් හිඟ මුදල් ගෙවීමට අවස්ථාව ලබාදුන් මෙරට පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ.

සෑම ක්‍රෙඩිට් කාඞ්පත් වාර්තාවකම මේ වනවිට අනන්‍ය වූ QR කේතයක් මුද්‍රණය කර තිබෙන බවත් එය LANKAQR යටතේ වන ලංකාවේ පළමු QR පදනම් කරගත් ඇප් පහසුකම වන ComBank Q+ ඇප් එක මගින් මෙන්ම කොම්බෑන්ක් ෆ්ලෑෂ් ඇප් එක මගින් හෝ LANKAQR ප‍්‍රමිතීන් වලට අනුකූල  ඕනෑම QR ගෙවීම් ඇප් එකක් මගින් සහ Mastercard QR හෝ Visa QR සඳහා සහාය දක්වන  ඕනෑම අයදුමක් මගින් ස්කෑන් කළ හැකි බව බැංකුව නිවේදනය කර ඇත.

මෙම පහසුකම හේතුවෙන් ගෙවීම් කිරීමේදී සිය ක්‍රෙඩිට් කාඞ්පතේ තොරතුරු ඇතුළත් කිරීමේ අවශ්‍යතාවයෙන් මිදීමට කාඞ්පත් හිමියන්ට අවස්ථාව ලැබෙන අතර එය වඩාත් පහසුවක් බව බැංකුව සඳහන් කරයි. මෙහිදී, පාරිභෝගිකයා කළ යුතු වන්නේ ක්‍රෙඩිට් කාඞ්පත් වාර්තාවේ ඇති QR කේතය ස්කෑන් කළ පසුව දිස්වන අංක හයකින් සමන්විත ක්‍රෙඩිට් කාඞ් ගිණුම් අංකය නිවැරදි ද යන්න සනාථ කිරීම පමණි.

 




 

ගෙවිය යුතු අවම ගාස්තුවට සමාන හෝ එයට වැඩි මුදලක් මෙයට ඇතුළත් කර ගෙවීම් කළ හැකි බවත් අවශ්‍ය නම් පාරිභෝගිකයාට මේ ක‍්‍රමයට තමන්ගේ සම්පූර්ණ හිඟ මුදලද පියවිය හැකි බව බැංකුව සඳහන් කරයි. මෙම ක‍්‍රමය මගින් බැංකු ශාඛාවකට නොගොස් තමන්ගේ හිඟ මුදල් ඉතාමත් සුරක්ෂිත ලෙස ගෙවා දැමීම සඳහා පාරිභෝගිකයාට අවස්ථාව උදාවී තිබේ.

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට අමතර ගාස්තු ගෙවීමකින් තොරව මෙම පහසුකම ලබාගත හැකි අතර ගෙවීම් කළ විගස ඒ බව කෙටි පණිවුඩයකින් හෝ ඊ-මේල් පණිවුඩයකින් පාරිභෝගිකයා වෙත දැනුම් දීමට බැංකුව කටයුතු කර ඇත.

LANKAQR භාවිතා කරමින් ජංගම දුරකතන සහ ඩිජිටල් ගෙවීම් රට පුරාම ප‍්‍රචලිත කිරීමේ අරමුණෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කර තිබෙන ‘රටපුරාම LANKAQR’ නැමති වැඩසටහනට මෙම වැඩසටහන මගින් සහයෝගය ලබාදෙන බව බැංකුව සඳහන් කරයි. එසේම, කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියේ දැක්වෙන QR කේතයක් ස්කෑන් කිරීම මගින් ක්‍රෙඩිට් කාඞ්පත් හිඟ මුදල් ගෙවීමට QR කේත ගෙවීම් සක‍්‍රීය කළ මෙරට පළමු බැංකුව ලෙසද කොමර්ෂල් බැංකුව කැපී පෙනේ.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 875 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව