Picture1

2025 වසරේදී සිය ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කළ අමානා බැංකුව එම ප්‍රවණතාව 2026 වසරේදීද පවත්වා ගනිමින්, 2026 සැප්තැම්බර් 30 න් අවසන් වූ මාස 9 සඳහා රුපියල් බිලියන 1.7 ක බදු පසු ලාභයක් සහ රුපියල් බිලියන 2.8 ක බදු පෙර ලාභයක් වාර්තා කර තිබේ. භූ-දේශපාලනික අවිනිශ්චිතතා හේතුවෙන් උද්ගත වූ ආර්ථික අභියෝග මධ්‍යයේ පවා මෙම කාර්යසාධනය වාර්තා කිරීමට බැංකුව සමත් වී ඇත.




සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 9 තුළ බැංකුවේ ප්‍රධාන ආදායම් සැලකූ විට, ස්ථාවර 4.3% ක මූල්‍යකරණ ආන්තිකයක් සමඟින් ශුද්ධ මූල්‍යකරණ ආදායම පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 11% කින් වර්ධනය වී රුපියල් බිලියන 6.7 ක් ලෙස වාර්තා වී තිබේ. බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 1.1 ක් දක්වා 8% කින් ඉහළ ගොස් ඇත. මෙම සමාලෝචනයට අදාළ මාස 9 කාලපරිච්ඡේදය සඳහා ශුද්ධ වෙළඳ ආදායම 42% කින් වර්ධනය වී රුපියල් මිලියන 400 ඉක්මවා ඇති අතර, සමස්ත මෙහෙයුම් ආදායම 11% කින් වර්ධනය වී රුපියල් බිලියන 8.2 ක් ලෙස වාර්තා වී ඇත.

උද්ධමන පීඩනය හේතුවෙන් මෙහෙයුම් වියදම් ඉහළ ගිය අතර, බැංකුව 52% ක ආදායමට පිරිවැය අනුපාතයක් (Cost-to-Income Ratio) සහ රුපියල් බිලියන 3.6 ක  සියලු බදුවලට පෙර මෙහෙයුම් ලාභයක් (Operating Profit before all taxes) වාර්තා කළේය. බැංකුවේ සමස්ත බදු දායකත්වය රුපියල් බිලියන 2.0 ක් වූ අතර, එය සියලු බදුවලට පෙර මෙහෙයුම් ලාභයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක්, එනම් 54% ක් විය.

ජාතික ආර්ථිකයට අඛණ්ඩව සහය දක්වන බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සේවා සහ පාරිභෝගික බැංකුකරණ සේවා එකතුව ශක්තිමත් වීම හේතුවෙන්, මෙම සමාලෝචනයට අදාළ මාස 9 ක කාලපරිච්ඡේදය තුළ බැංකුව නිකුත් කළ පාරිභෝගික ණය ප්‍රමාණය 6% කින් වර්ධනය වී රුපියල් බිලියන 160.4 ක් ලෙස වාර්තා වී ඇත. මෙය බැංකුවේ මූල්‍ය තත්වය තවදුරටත් ශක්තිමත් වීමට හේතුවක් වී තිබේ. සංවර්ධනය කේන්ද්‍ර කරගත් සහ මානුෂ හිතවාදී බැංකුකරණ ප්‍රවේශයක් මත පදනම් වූ සුවිශේෂී අවදානම් කළමනාකරණ සහ ණය අනුමත කිරීමේ විධිවිධාන හේතුවෙන්, අමානා බැංකුවේ අදියර 3 ශුද්ධ මූල්‍යකරණ සහ අත්තිකාරම් අපහායන අනුපාතය [Net Impaired Financing and Advances (Stage 3) Ratio] 1.3% ක් ලෙස ක්ෂේත්‍රයේ පහළම අගයක පැවතිණි. කාර්තුව අවසානයේදී බැංකුවේ ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA ratio) ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමක, එනම් 43% ක් වශයෙන් පැවති අතර, පාරිභෝගික තැන්පතුවල මුළු වටිනාකම රුපියල් බිලියන 179.7 ක් ලෙස වාර්තා විය. 2026 වසරේ 3 වන කාර්තුව අවසන් වන විට බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම රුපියල් බිලියන 213.7 ක් විය.

මෙම සමාලෝචනයට අදාළ කාලපරිච්ඡේදය සඳහා බැංකුවේ කොටස් හිමිකම් මත ප්‍රතිලාභය 8.6% ක් සහ වත්කම් මත ප්‍රතිලාභය 1.8% ක් ලෙස වාර්තා වී තිබේ. 2026 සැප්තැම්බර් 30 දින වන විට බැංකුවේ කොටසක වෙළඳපොළ මිල රුපියල් 26.80 ක් වූ අතර, කොටසක් සඳහා ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් 48.36 ක් විය. බැංකුවේ ප්‍රාග්ධන තත්ත්වය ශක්තිමත්ව පැවති අතර, මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරමින් පොදු කොටස් පළමු පෙළ අනුපාතය (Common Equity Tier 1 Capital Ratio) 12.2%ක් ලෙසත්, සමස්ත ප්‍රාග්ධන අනුපාතය (Total Capital Ratio) 13.6% ක් ලෙසත් වාර්තා වී තිබේ. 2026 වසරේ 3 වන කාර්තුව අවසන් වන විට ද්‍රවශීලතා සංචිතද ශක්තිමත්ව පැවති අතර, රුපියල් සහ සියලු මුදල් ඒකක සඳහා වූ ද්‍රවශීලතා ආවරණ අනුපාත පිළිවෙළින් 298.4% ක් සහ 156.7% ක් ලෙසත්, ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය 139.4% ක් ලෙසත් වාර්තා විය. මෙම සියලු අගයන් අදාළ නියාමන අවශ්‍යතාවන්ට පැහැදිලි ලෙසම ඉහළින් පැවතිණි.

මෙම කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ පැවසීය:

“අමානා බැංකුව සිය ලාභදායීත්වය අඛණ්ඩව පවත්වාගනිමින් මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීමට සමත් වී තිබෙනවා. මෙම කාර්යසාධනය මඟින් පිළිබිඹු වන්නේ අපගේ සංවර්ධනය කේන්ද්‍ර කරගත් මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියේ ශක්තියයි. එය සුපරීක්ෂාකාරී ආයතනික පාලනය සහ අපගේ පාර්ශ්වකරුවන්ගේ අඛණ්ඩ විශ්වාසය මඟින් තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. බැංකුකරණ ක්ෂේත්‍රයේ 15 වසරක ගමන්මඟ අභිමානයෙන් සමරන මේ මොහොතේ මෙම ශක්තිමත් පදනම ඔස්සේ ඉදිරියට යමින්, අපගේ කොටස් හිමියන් වෙනුවෙන් දීර්ඝකාලීන ප්‍රතිලාභ පිරිනමන අතරම ව්‍යාපාර ක්ෂේත්‍රයට අත්වැලක් වෙමින්, රටේ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් කැපීපෙනෙන දායකත්වයක් ලබාදීම අපගේ අරමුණයි.”

අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය:

“ආදායම් වර්ධනය, විධිමත් අවදානම් කළමනාකරණය සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා කෙරෙහි දැක්වූ අවධානය ඔස්සේ අඛණ්ඩව සිය ලාභදායීත්වය පවත්වාගැනීමට අමානා බැංකුව සමත් වී තිබෙනවා. ප්‍රධාන වශයෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරගත් සේවාවන් තුළින් ශක්තිමත් වූ අපගේ මූල්‍ය පහසුකම් සේවා එකතුවේ වර්ධනය, අභියෝගවලට මුහුණ දෙමින් අවස්ථා හඹා යන ව්‍යාපාරවලට සහාය වීම සඳහා අප දක්වන කැපවීම මැනැවින් පිළිබිඹු කරනවා. අපගේ ශක්තිමත් ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් පදනම සහ යහපත් වත්කම් ගුණාත්මකභාවය මෙම ප්‍රගතියට අඛණ්ඩව දායක වන තවත් සාධක දෙකක් ලෙස හැඳින්විය හැකියි. ඉදිරියටත් ගනුදෙනුකරුවන් සමඟ පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමටත්, ඩිජිටල් තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීමටත්, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් අප කැප වී සිටිනවා.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව