
නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS) සහ ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් තාක්ෂණික විශ්වවිද්‍යාලය (Swinburne University of Technology) එක්ව සංවිධානය කළ 10 වන උපාධි සහ පාඨමාලා ප්රදානෝත්සවය පසුගිය දා කොළඹ ගලදාරී රැඩිසන් බ්ලූ හෝටලයේදී පැවැත්විණි. මෙහිදී කොළඹ සහ මහනුවර ශාඛාවල ව්‍යාපාර, ඉංජිනේරු, සෞඛ්‍ය විද්‍යා සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයන්හි පදනම් පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලා සාර්ථකව නිමකළ සිසුන් ඇගයීමට ලක්කෙරිණි. එසේම වර්තමානය වන විට සිසුන් 600කට වැඩි පිරිසකට අධ්‍යාපනය ලබාදෙමින් ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව උදාකර දෙන මෙම ආයතන ද්විත්වයේ 12 වසරක අද්විතීය සහකාරිත්වය සැමරීම සඳහා ද මෙම උත්සවය වැදගත් සංධිස්ථානයක් විය.
ස්වින්බර්න් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විධායක පීඨාධිපති මහාචාර්ය එමාඩ් ගැඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණු අතර එහිදී එතුමා, “ඔබ දැනට ලබාගෙන ඇති මෙම ස්වින්බර්න් සුදුසුකම කියන්නේ කඩදාසි කොළයක් විතරක් නෙවෙයි, එය ඉතා විශිෂ්ට සම්පතක්,” යනුවෙන් සිය අදහස් ප්‍රකාශ කළේය. එමන්ම තම අනාගතය සක්‍රීයව ගොඩනඟා ගැනීමට මෙම අධ්‍යාපනික සුදුසුකම් අලුත් අවස්ථාවන් සඳහා වන බලපත්‍රයක් සේ සළකන ලෙස එතුමා උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ස්වින්බර්න් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ගෝලීය සබඳතා නියෝජ්‍ය උපකුලපති ආචාර්ය ජේසන් මැක්ගවර්න් මහතා, පන්ති කාමරයෙන් පිටතදී තම දැනුම භාවිතා කරනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව සිතා බලන ලෙස උපාධිධාරීන් දිරිමත්කළේය. “ඔබේ අනාගත දායකත්වය තීරණය වන්නේ ඔබ දන්නා දේ මත පමණක් නොවේ, ඔබ දන්නා දෙයින් කිරීමට තෝරා ගන්නා දේ මතයි,” යනුවෙන් පවසමින් ඔහු ඉදිරි පියවරයන්හි දී කුතුහලයෙන්, ධෛර්යයෙන් සහ අරමුණකින් යුතුව කටයුතු කරන ලෙස සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.
තවද, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන සහ ආර්ථික පළමු ලේකම් වන ෂින් ෂි මහතා ගෞරවනීය අමුත්තා ලෙස සහභාගී වෙමින් දෙරට අතර සමීප සබඳතා ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපනයේ ඇති වැදගත්කම අවධාරණය කළේය. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල ඉදිරියට එන 80 වන සංවත්සරය මෙන්ම 2026 වසරට යෙදෙන කොළඹ ක්රමයේ (Colombo Plan) 75 වන සංවත්සරය පිළිබඳව ද ඔහු මෙහිදී අදහස් දැක්වූයේය. උපාධිධාරීන් ලබා ගන්නා දැනුම සහ කුසලතා ඔස්සේ ශ්‍රී ලංකාව සහ ලෝකයේ සිසුන් අතර සබඳතා ශක්තිමත් කිරීමට හැකියාව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
එසේම NCHS හි අධ්‍යයන පීඨාධිපති ආචාර්ය ඇලන් රොබට්සන් මහතා පැමිණ සිටි පිරිස සාදරයෙන් පිළිගනිමින් ශ්‍රී ලාංකික සිසුන්ට මෙම සහකාරිත්වයෙන් ලැබෙන ප්රතිලාභ පෙන්වා දුන්නේය. එමෙන්ම NCHS හි දේශීය සක්‍රීය භූමිකාව සහ නව්‍ය අධ්‍යාපනය සඳහා ස්වින්බර්න් හි ඇති දීර්ඝකාලීන කැපවීමත්, සිසුන්ට ඔවුන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ඉතා හොඳ පදනමක් සපයන බවත්, වර්තමාන සහ අතීත උපාධිධාරීන්ගේ ජයග්‍රහණ මඟින් මෙම අධ්‍යාපන මාර්ගයේ වටිනාකම තහවුරු වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
පාඨමාලාවන්හි විශිෂ්ට අධ්‍යයන දක්ෂතා ඇගයීම සඳහා වන ‘High Achiever Awards’ සම්මාන පිරිනැමීම NCHS හි නියෝජ්‍ය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වික්ටර් රමණන් මහතා සහ ආචාර්ය ඇලන් රොබට්සන් මහතා අතින් සිදු විය. ඒ අනුව, UniLink Diploma of Business සම්මානය සනිති විදුනිමා සුවාරිස් අබේසේකර, UniLink Diploma of Engineering සම්මානය සනුක මෙන්ඩිලු පෙරේරා මායාදුන්නේ සහ ඉසුරු උදාර යාපා හෙට්ටිගේ, UniLink Diploma of Health Science සම්මානය සංජලී ආකාශා ජයතිලක බණ්ඩාරනායක මුදියන්සේලාගේ සහ හඬුවෙලගෙදර ඉනුරි දිනාරා ප්‍රනාන්දු, UniLink Diploma of Information Technology සම්මානය සනුක දම්කෙත් අබේරත්න මොහොට්ටාලගේ සහ Swinburne Foundation Program සම්මානය ඉසුරි සත්සරාණි සමරනායක කංකානම්ගේ යන සිසුන් දිනා ගනු ලැබුවේය.
උපාධිධාරී කණ්ඩායම වෙනුවෙන් අදහස් දැක්වූ UniLink Diploma in Engineering උපාධිධාරිනී අමාත්රි පෙරේරා මෙනෙවිය, තම අධ්‍යයන කටයුතුවලදී ගොඩනඟාගත් සබඳතා පිළිබඳව මතකයන් ආවර්ජනය කළාය. “අපගේ අධ්‍යාපනික සුදුසුකම් අපට දොරටු විවර කර දෙනු ඇත, නමුත් අප එම දොරටුවෙන් ඇතුළු වූ පසු කරන දේ තීරණය කරන්නේ අපගේ චරිතයයි,” යනුවෙන් සඳහන් කළ ඇය, සිසුන්ට මෙම අධ්‍යාපනික ගමන සාර්ථකව නිම කිරීමට උපකාරී වූ අන්‍යෝන්‍ය සහයෝගය සහ සහභාගී කරගත් අත්දැකීම්වල වැදගත්කම අවධාරණය කළාය.
සිසුන් තම අධ්‍යාපනයේ මෙම අදියර නිම කිරීම සමරන අවස්ථාවේදී ශ්‍රී ලාංකේය කලාත්මක පාරම්පරික උරුමය විදහා දක්වමින් රන්වල බලකාය විසින් ඉදිරිපත් කළ සංස්කෘතික බෙර සහ නර්තන අංගයන්ගෙන් ද මෙම උත්සවය වර්ණවත් විය. මෙම උපාධි ප්රදානෝත්සවය ශ්‍රී ලාංකික සිසුන් ජාත්‍යන්තරව උසස් අධ්‍යාපන ක්ෂේත්රයට යොමු කිරීමේදී NCHS සහ ස්වින්බර්න් සබඳතාවයේ නොනැවතී ඉදිරියට යන කාර්යභාරය මැනවින් විදහා දැක්වීය.


