
දකුණු ආසියාවේ MSC සහතිකය හිමි වූ පළමු නිල් කකුළු ධීවර කර්මාන්තය මෙයයි. ධීවර ජනතාව, ධීවර දෙපාර්තමේන්තුව සහ ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් වසර 13 ක් පුරා ගෙන ගිය කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ලැබුණු මෙම ඇගයීම හරහා ජාත්‍යන්තරයේ ඉහළ වටිනාකමක් ඇති අපනයන වෙළඳපොළවල් රැසක් ශ්‍රී ලංකාවට විවෘත වේ.
ශ්‍රී ලංකාවේ වයඹදිග මුහුදු සීමාවේ නිල් කකුළු ධීවර කර්මාන්තය, ලොව ප්‍රමුඛතම තිරසාර වනජීවී සාගර ආහාර ප්‍රමිතිය වන Marine Stewardship Council (MSC) සහතිකය ලබාගත් ශ්‍රී ලංකාවේ පළමු ධීවර අංශය බවට පත්ව ඇත. එසේම, දකුණු ආසියාවේ MSC සහතිකය දිනාගත් පළමු නිල් කකුළු කර්මාන්තය වන්නේ ද මෙයයි.
Control Union UK ස්වාධීන තක්සේරු ආයතනය විසින් නිකුත් කරන ලද මහජන සහතික කිරීමේ වාර්තාව MSC ආයතනය විසින් පිළිගැනීමෙන් අනතුරුව, 2026 නොවැම්බර් 04 වන දින සිට මෙම සහතිකය නිල වශයෙන් බලපැවැත්වේ.
උතුරු සහ වයඹ දිග වෙරළබඩ තීරයේ කකුළුවන් ඇල්ලීමෙන් ජීවිකාව සරි කරගන්නා ධීවර පවුල් දහස් ගණනකට මෙය ඉතා වැදගත් ජයග්‍රහණයකි. එමෙන්ම, වගකීම්සහගත ලෙස ලබාගන්නා සහතික ලත් සාගර ආහාර ඉල්ලා සිටින ජාත්‍යන්තර වෙළඳසැල් සහ ආහාර පාන ක්ෂේත්රයේ විදේශීය මිලදී ගන්නන් වෙත සෘජුවම ප්‍රවේශ වීමට ද මෙරට අපනයනකරුවන්ට මෙමඟින් අවස්ථාව හිමිවේ.
වසර 13 ක අඛණ්ඩ කැපවීමක ප්‍රතිඵලයක්
මෙම සහතිකය හිමිවූයේ 2013 වසරේදී ආචාර්ය ස්ටීව් ක්රීච් මහතාගේ මඟපෙන්වීම යටතේ ආරම්භ කරන ලද ධීවර සංවර්ධන ව්‍යාපෘතියේ (Fishery Improvement Project – FIP) ප්‍රතිඵලයක් ලෙසයි. ඒ සඳහා ධීවර ජනතාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව (DFAR), ඇමරිකාවේ ජාතික ධීවර ආයතනය (NFI-USA), පරිසර සංරක්ෂණ සංවිධාන සහ Taprobane Seafoods සමාගම එක්ව කටයුතු කළහ.
දශකයකට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය මඟින් ධීවර කළමනාකරණය ශක්තිමත් කිරීම, කකුළුවන් ගහනය පිළිබඳ විද්‍යාත්මක අවබෝධය වැඩිදියුණු කිරීම, වගකීම්සහගත ලෙස ධීවර කර්මාන්තයේ නියැලීම ප්‍රවර්ධනය කිරීම සහ වෙරළබඩ ජනතාවගේ ජීවනෝපාය නැංවීම සඳහා කටයුතු කෙරිණි.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙම කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නීතිමය පදනම, විද්‍යාත්මක නිරීක්ෂණ සහ කළමනාකාරීත්වය සපයමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මෙහිදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. CM Blue Crab (Pvt) Ltd සමාගම ද මෙම සාමූහික ප්රයත්නයට දායක විය.
මෙම සමස්ත ක්‍රියාවලියේ හදවත බඳු වූයේ ධීවර ජනතාවයි. කකුළුවන් ඇල්ලීමට අමතරව, ධීවර ක්‍රමවේදයන් යාවත්කාලීන කිරීමටත්, තොරතුරු රැස්කිරීමට සහාය වීමටත්, කර්මාන්තයේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් හඳුන්වා දුන් නව වෙනස්කම් වැළඳ ගැනීමටත් ඔවුන් කටයුතු කළහ. වසර දහයකට වැඩි කාලයක් පුරා ඔවුන් දැක්වූ මෙම කැපවීම නොමැති වන්නට මෙම සහතිකය ලබා ගැනීමට කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නැත.
ශ්‍රී ලංකාවේ සාගර ආහාර අපනයනයට විශාල ශක්තියක්
MSC සහතිකය හිමිවීමත් සමඟ, වගකීම්සහගත ලෙස සාගර ආහාර සපයන විශ්වාසදායී රටක් ලෙස ශ්‍රී ලංකාවට හිමි ස්ථානය තවදුරටත් ශක්තිමත් වේ. එමෙන්ම MSC සහතික ලත් නිල් කකුළුවන් ඉල්ලා සිටින ජාත්‍යන්තර පාරිභෝගිකයන්ට අස්වැන්න සැපයීමට Taprobane Seafoods සමාගමට හැකියාව ලැබේ. ලොව පුරා මෙම හැකියාව සහිත ව්‍යාපාරික මට්ටමේ නිෂ්පාදකයන් කිහිපදෙනා අතරට එක්වීමට ද Taprobane සමාගම සමත්ව ඇත.
දීර්ඝකාලීන ආයෝජනය, එකමුතුකම සහ නිවැරදි සම්පත් කළමනාකරණය තුළින් සංවර්ධනය වන රටවල කුඩා පරිමාණ ධීවර ජනතාවට වුවද ගෝලීය ප්රමිතීන් සපිරීමට හැකි බව මෙම ජයග්රහණයෙන් මනාව පැහැදිලි වේ.
Taprobane Seafoods සමාගමේ සභාපති සහ නිර්මාතෘ අධ්යක්ෂ ඩිලාන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.
“මෙය Taprobane Seafoods සමාගමට පමණක් නෙමෙයි, මුළු ශ්‍රී ලංකාවටම වගේම මේ ගමනේ හදවත බඳු වූ ධීවර ජනතාව ඇතුළු මෙය සාර්ථක කරගන්න පුළුවන් කියලා විශ්වාස කරපු සැමටම ඉතාම ආඩම්බර මොහොතක්. මීට වසර දහයකට පෙර අපි අනාගත පරම්පරාවටත් පරිසරය සුරක්ෂිත කරමින්, ධීවර ජනතාවගේ ජීවනෝපාය නැංවිය හැකි කර්මාන්තයක් ගොඩනැගීමට කැපවුණා.
මෙම ජයග්‍රහණය අයිති වන්නේ ධීවර ජනතාවට, ඔවුන්ගේ පවුල්වලට, රාජ්‍ය ආයතනවලට සහ එකම අරමුණක් වෙනුවෙන් කැපවුණු සියලුම පාර්ශ්වකරුවන්ටයි. එමෙන්ම Taprobane සමාගමේ කැපවීමෙන් කටයුතු කළ කාර්ය මණ්ඩලයටත් මාගේ හදපිරි ස්තුතිය හිමිවෙනවා.
සමාජය, කර්මාන්තය සහ පරිසර සංරක්ෂණය එකමුතුව එකම අරමුණකට වැඩ කරද්දී ලබාගන්න පුළුවන් ජයග්‍රහණ මොනවාද කියලා MSC සහතිකය මඟින් පෙන්වා දී තිබෙනවා. අපිට තිරසාර බව කියන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියක් සපිරීමට විතරක් සීමා වූ දෙයක් නෙමෙයි, ඉදිරි පරම්පරා ගණනාවකටත් අපේ ධීවර ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමයි අපේ එකම අරමුණ.”
ශ්‍රී ලංකා සාගර ආහාර අපනයනකරුවන්ගේ සංගමයේ ලේකම් සම්පත් පත්මවංශ මහතා මෙසේ පැවසීය.
“ශ්‍රී ලංකාවේ නිල් කකුළු කර්මාන්තය වෙනුවෙන් මෙම කීර්තිමත් MSC සහතිකය දිනා ගැනීමට කටයුතු කළ Taprobane Seafoods සමාගමට සහ සියලුම පාර්ශ්වකරුවන්ට ශ්‍රී ලංකා සාගර ආහාර අපනයනකරුවන්ගේ සංගමයේ උණුසුම් සුබ පැතුම් පිරිනමනවා. මෙය අපේ රට ලැබූ අතිමහත් ජයග්‍රහණයක් මෙන්ම, තිරසාර ධීවර කර්මාන්තය සහ ජාත්‍යන්තර ප්රමිතීන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇති කැපවීම පෙන්වන හොඳම සාක්ෂියක්.
මෙය එක් සමාගමක හෝ එක් ධීවර අංශයක පමණක් ජයග්‍රහණයක් නෙමෙයි, මුළු ශ්‍රී ලංකාවේම සාගර ආහාර කර්මාන්තයටම ආඩම්බර විය හැකි, අනෙකුත් ධීවර අංශයන්ටත් ජාත්‍යන්තර ප්රමිතීන් කරා යාමට ලබා දුන් ලොකු දිරියක්.”
ක්ෂේත්රයේ නිරන්තර පෙරගමන්කරුවෙක්
මෙම MSC සහතිකය ලබා ගැනීම, Taprobane Seafoods සමාගම තැබූ තවත් එක් සුවිශේෂී පියවරකි. ශ්‍රී ලංකාවේ පළමු පැස්චරීකරණය කළ කකුළු මස් සකස් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම, ආසියාවේ පළමු පරිසර හිතකාමී නිල් කකුළුවන් ඇගයීම හිමිකර ගැනීම, වෙනමෙයි (Vannamei) ඉස්සන් වගාව මෙරටට හඳුන්වා දීම, තරු හතරේ Best Aquaculture Practices (BAP) සහතිකය ලබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ පළමු Aquaculture Stewardship Council (ASC) සහතික ලත් ඉස්සන් ගොවිපළ නිර්මාණය කිරීම ද මෙම සමාගම විසින් සිදු කර ඇත.


