සදර්න් ක්‍රොස් විශ්වවිද්‍යාලය සහ NSBM හරිත සරසවිය එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්විත්ව උපාධිය හඳුන්වා දෙයි

Image - NSBM (LBN)

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපනය වෙනුවෙන්: ව්‍යාපාරවේදී සහ තොරතුරු තාක්ෂණවේදී උපාධි ද්විත්වයම පිරිනමන තනි සිව් අවුරුදු පාඨමාලාවක්

2026 ඔක්තෝබර් 26, කොළඹදී: — ඔස්ට්‍රේලියාවේ සදර්න් ක්‍රොස් විශ්වවිද්‍යාලය, NSBM හරිත සරසවිය සමග අත්වැල් බැඳ ගනිමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ද්විත්ව උපාධි පාඨමාලාව පසුගියදා හඳුන්වා දුන්නේය. වසර හතරක පාඨමාලාවක්වන මේ යටතේ, ව්‍යාපාරවේදී සහ තොරතුරු තාක්ෂණවේදී උපාධි දෙකම පිරිනැමේ. NSBM හරිත සරසවිය විසින් එම උපාධි පාඨමාලාව මෙරට පිරිනමනු ලබන අතර, 2027 ශිෂ්‍ය කණ්ඩායම සඳහා මේවන විට අයදුම්පත් බාර ගැනේ.




සදර්න් ක්‍රොස් විශ්වවිද්‍යාලය සහ NSBM හරිත සරසවිය එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්විත්ව උපාධි පාඨමාලාව හඳුන්වා දීමට අදාළ අවබෝධතා ගිවිසුමට පසුගියදා අත්සන් තැබිණි. මෙරට ඩිජිටල් ආර්ථික අභිලාශ සඳහා මෙන්ම ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනික හවුල්කාරිත්වය සඳහා ද මෙම උපාධි පාඨමාලාවේ ඇති වැදගත්කම පිළිබිඹු කරමින්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ගරු එරංග විරරන්ත සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු තානාපති ගරු මැතිව් ඩක්වර්ත් යන මහත්වරු එම අවස්ථාව සඳහා සහභාගී වූහ. NSBM හරිත සරසවියේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධාන කෙරෙන වැඩසටහන් මාලාවේ එක් සුවිශේෂී අදියරක් ලෙස මෙම අවස්ථාව සංවිධාන කර තිබිණ.

දත්ත සහ කෘත්‍රිම බුද්ධිමය තාක්ෂණයේ සිට සයිබර් ආරක්ෂාව දක්වා රැකියා වෙළෙඳපොළ තුළ ශීඝ්‍ර ඉල්ලුමක් පවතින ක්ෂේත්‍ර ආවරණය කෙරෙමින් මෙම ද්විත්ව උපාධි පාඨමාලාව, ව්‍යාපාරික ක්ෂේත්‍රය මෙන්ම උසස් තාක්ෂණික කුසලතා ඇතුළත් සංකලනයකි. සදර්න් ක්‍රොස් විශ්වවිද්‍යාලයට ආවේණික පාඨමාලා ආකෘතියක් (වරකට අවම ඒකක ප්‍රමාණයක් සහිත සහ අවසාන විභාගවලින් තොර) යටතේ අධ්‍යාපනය ලැබීමට සිසුන්ට මෙහිදී අවස්ථාව උදා වේ. එමෙන්ම, වැටුප් සහිත සීමාවාසික රැකියා පුහුණුව මෙන්ම, ඔස්ට්‍රේලියානු ගිම්හාන පාසලකට ඇතුළත් වීමේ අවස්ථාව ද සමගින් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති ඔස්ට්‍රේලියානු අධ්‍යාපන සුදුසුකමක් හිමිකර ගැනීමට හැකි වීම ද විශේෂත්වයකි.

“මෙය මෙම විශ්වවිද්‍යාලවලට මෙන්ම, ශ්‍රී ලංකාවේ සිසුන්ට ද ආඩම්බර විය හැකි අවස්ථාවක්. අනාගතයට ඔබින ගෝලීය අධ්‍යාපන සුදුසුකමක් මෙන්ම ව්‍යාපාරික හා තාක්ෂණික කුසලතා හිමිකර ගැනීමේ අවස්ථාව හිමිකර දෙන ලෝක මට්ටමේ ඔස්ට්‍රේලියානු උපාධියක් අප ශ්‍රී ලංකාවේ සිසුන් අසළට ගෙනැවිත් තිබෙනවා.”

මහාචාර්ය ටයිරෝන් කාලින්, උපකුලපති, සදර්න් ක්‍රොස් විශ්වවිද්‍යාලය

“අපගේ 10 වැනි සංවත්සරයේදී, ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්විත්ව උපාධි පාඨමාලාව පිරිනැමීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. මෙමගින්, අනාගතයට අවශ්‍ය අධ්‍යාපනයක් පිරිනැමීමට මෙන්ම, සිසුන් හට ගෝලීය අවස්ථා විවර කර දීමට NSBM අප දක්වන කැපවීම මනාව පිළිබිඹු වනවා.”

මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ, උපකුලපති, NSBM හරිත සරසවිය

“ශ්‍රී ලංකාවේ අනාගතය ගොඩ නැගෙන්නේ ඩිජිටල් කුසලතා සහිත ශ්‍රම බලකායක් මතයි. ශ්‍රී ලංකාව තුළදීම තාක්ෂණය සහ ව්‍යාපාරික විශේෂඥ දැනුම පිරිනමන උපාධි පාඨමාලාවක් පිරිනැමීමෙන්, අපගේ ජාතික ඩිජිටල් ආර්ථික සැලසුම ශක්තිමත් වනවා.”

ගරු එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය

“ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්විත්ව උපාධි පාඨමාලාව යථාර්ථයක් බවට පත්වීම මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනවා. තම මවුබිමෙන් බැහැර වීමෙන් තොරව, අනාගතයට අවශ්‍ය ව්‍යාපාරික සහ තාක්ෂණික කුසලතා ඒකාබද්ධ කරමින් පිරිනැමෙන ලෝක මට්ටමේ ඔස්ට්‍රේලියානු අධ්‍යාපන සුදුසුකමක් ශ්‍රී ලාංකේය සිසුන් හට පිරිනැමීම අපගේ ඒකායන අපේක්ෂාවයි.”

පාඨමාලාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පුරෝගාමී වූ මහාචාර්ය දර්ශන සේධර, සහකාර පීඨාධිපති (ජාත්‍යන්තර සහ සබඳතා), සදර්න් ක්‍රොස් විශ්වවිද්‍යාලය



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + 17 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව