
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා සක්රීය ලෙස ප්රවර්ධනය කරමින්, DFCC බැංකුව ඉන්දියානු අපනයන-ආනයන බැංකුව (India Exim Bank) සමග ප්රධාන වෙළඳ ණය ගිවිසුමකට එළඹ ඇත. ඉන්දියා Exim බැංකුවේ වෙළඳ උපකාරක වැඩසටහන යටතේ සිදුකෙරුණු මෙම ගිවිසුම මගින් දෙරට අතර සිදුවන වාණිජ හා වෙළඳ කටයුතු සඳහා මූල්ය පහසුකම් සැපයීමේ DFCC බැංකුවේ ධාරිතාව තවදුරටත් වර්ධනය වේ.
මෙම ගිවිසුම සඳහා DFCC බැංකුවේ අධ්යක්ෂ සහ විධායක නිලධාරී තිමල් පෙරේරා, එම බැංකුවේ භාණ්ඩාගාර සහ ආයෝජන බැංකුකරණය පිළිබඳ ජ්යෙෂ්ඨ උප සභාපති ප්රින්ස් පෙරේරා සහ ඉන්දියා Exim බැංකුවේ සාමාන්යාධිකාරී ශෛලේෂ් ප්රසාද් යන මහත්වරුන් විසින් 2026 සැප්තැම්බර් 22 වන දින අත්සන් තබන ලදී. ශ්රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා වාණිජ කටයුතු පිළිබඳ උපදේශක දේවිකා ලාල් මහත්මිය ද මෙම අවස්ථාවට එක්වූවාය.
ඉන්දියා Exim බැංකුවේ වෙළඳ උපකාරක වැඩසටහන යටතේ ශ්රී ලාංකේය බැංකුවක් සහ එම බැංකුව අතර එළඹි ප්රථම ප්රධාන වෙළඳ ණය ගිවිසුම මෙය වීම විශේෂත්වයකි. මෙම වැඩසටහන මගින් වෙළඳ උපකරණ (trade instruments) සඳහා ණය තහවුරු කිරීමේ (credit enhancement) පහසුකම් සපයනු ලබන අතර, එමගින් වෙළඳ සීමාවන් පවතින ඉන්දීය වෙළඳපොළවල් වෙත කෙරෙන දේශසීමා හරහා සිදුවන ගනුදෙනු සඳහා සක්රීයව දායක වීමට DFCC බැංකුවට මගපෑදේ.
ඉන්දියා Exim බැංකුව හරහා හිමිවන මෙම වෙළඳ මූල්ය අරමුදල් සබඳතාව නිසා, වඩාත් තරඟකාරී කෙටිකාලීන අරමුදල් සම්පාදනය කිරීමටත්, දේශසීමා හරහා සිදුවන වෙළඳ ගනුදෙනු පහසු කිරීමටත්, ඉන්දීය ව්යාපාරික පාර්ශ්වයන් සමග කටයුතු කරන ශ්රී ලාංකික ව්යාපාර සඳහා ශක්තිමත් මූල්ය සහයක් ලබාදීමටත් DFCC බැංකුවට හැකියාව ලැබෙනු ඇත. මෙම සාර්ථක එකඟතාව දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම ශ්රී ලාංකේය හා ඉන්දීය ව්යාපාරික ප්රජාවට නව වෙළඳ අවස්ථා උදාකර දීමටද ප්රබල පිටුවහලක් වනු ඇත.


