
ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සිය ඉතිහාසයේ විශාලතම උපාධිධාරීන් පිරිස වන 3,500 කට අධික පිරිසකට උපාධි පිරිනමමින්, 2026 සැප්තැම්බර් උපාධි ප්රදානෝත්සවය සාර්ථකව පවත්වා අවසන් කරන ලදී. 2026 සැප්තැම්බර් 14 සිට 19 දක්වා දින හයක් පුරා SLIIT මාලඹේ පරිශ්රයේදී පැවැති මෙම අභිමානවත් උත්සවයේදී පරිගණක, ව්යාපාර, ඉංජිනේරු සහ වාස්තු විද්යා, සහ මානවශාස්ත්ර හා විද්යා යන පීඨයන්හි උපාධිධාරීන් සහ පශ්චාත් උපාධිධාරීන් වෙත උපාධි පිරිනමන ලදී.
මෙවර පිරිනමන ලද උපාධි සංඛ්යාව SLIIT ආයතනයේ අභිමානවත් සන්ධිස්ථානයක් සලකුණු කරන අතරම, එය ජාතික මට්ටමේද මහත් වැදගත්කමක් උසුලයි. ශ්රී ලංකාව ආර්ථික පරිවර්තනයක් කරා ගමන් කරමින් සිටින පසුබිමක, ක්ෂේත්රයේ රැකියා, ව්යවසායකත්වය, පර්යේෂණ සහ පශ්චාත් උපාධි අධ්යයන සඳහා සෘජුවම දායක විය හැකි, කර්මාන්ත ක්ෂේත්රයට පූර්ණ ලෙස සූදානම් වූ 3,500 කට අධික නිපුණතාවයෙන් යුත් වෘත්තිකයන් පිරිසක් ශ්රම බලකායට එක්වීම මෙහි ඇති සුවිශේෂීතාවයි.
ශ්රී ලංකාවේ 2026–2030 රාජ්ය ආයෝජන වැඩසටහන යටතේ, 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5 ක වාර්ෂික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) අපනයනයක්, ඇමරිකානු ඩොලර් බිලියන 15 ක ඩිජිටල් ආර්ථිකයක් සහ 200,000 ක ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ ශ්රම බලකායක් නිර්මාණය කිරීම අරමුණු කර ගෙන ඇත. නවෝත්පාදනය, ව්යවසායකත්වය සහ සයිබර් ආරක්ෂණය යන ක්ෂේත්ර සඳහා මෙහිදී ප්රමුඛතාවක් හිමිවන අතර, අධ්යාපන ක්ෂේත්රය සහ කර්මාන්ත ක්ෂේත්රයේ අවශ්යතා අතර සමීප සබඳතාවක් පැවැතීමේ අවශ්යතාව එමගින් මනාව පැහැදිලි වේ.
SLIIT උපාධිධාරීන්ගේ මෙම සුවිශේෂී දායකත්වයට මූලික වී ඇත්තේ ආයතනය විසින් රැකියා නියුක්තිය උදෙසා දක්වන ඉහළ ප්රමුඛතාවයි. උපාධිය ලබා මාස හයක් ඇතුළත 98% ක රැකියා නියුක්ති අනුපාතයක් වාර්තා කිරීමට SLIIT සමත්ව ඇත. කර්මාන්ත ක්ෂේත්රයේ නැගී එන අවශ්යතාවලට අනුකූලව අධ්යයන පාඨමාලා යාවත්කාලීන කිරීම සඳහා කර්මාන්ත ක්ෂේත්රයේ ප්රමුඛයන් ලබාදෙන දායකත්වය සහ ආයතනයේ අධ්යයන අංශ මගින් පවත්වනු ලබන නිරන්තර උපදේශන සේවාවන් පදනම් කරගත් අධ්යාපනික ආකෘතිය මෙම සාර්ථකත්වයට ප්රධාන හේතුව වී තිබේ.
අභ්යාසලාභී පුහුණු අවස්ථා (internships), කර්මාන්ත ක්ෂේත්රයේ ප්රායෝගික පුහුණුව, වෘත්තීය මාර්ගෝපදේශනය සහ රැකියා යෝජකයන් සමඟ සෘජුව සම්බන්ධ වීමේ අවස්ථා හරහා සිසුන්ගේ තාක්ෂණික කුසලතා මෙන්ම සන්නිවේදනය, නම්යශීලී බව, කණ්ඩායම් හැඟීම සහ ගැටලු විසඳීමේ හැකියාවන් ද ශක්තිමත් කෙරේ.
එමෙන්ම, පර්යේෂණ පදනම් කරගත් අධ්යාපනික පරිසරයක අත්දැකීම් ලැබීමට ද SLIIT සිසුන්ට අවස්ථාව හිමිවේ. 2025 ස්ටැන්ෆර්ඩ්–එල්සෙවියර් (Stanford–Elsevier) ගෝලීය ශ්රේණිගත කිරීම්වල ලොව හොඳම 2% අතරට SLIIT ආචාර්යවරුන් හයදෙනෙකු තේරී පත්ව සිටින අතර, එමගින් ජාත්යන්තර මට්ටමේ අධ්යයන ප්රවීණතාව, පර්යේෂණ පදනම් කරගත් ඉගැන්වීම් සහ මගපෙන්වීම් ලබාගැනීමට සිසුන්ට මගපෑදී ඇත.
සාම්ප්රදායික රැකියාවල නිරතවීමට අමතරව ව්යවසායකත්වය කෙරෙහි ද SLIIT ආයතනය සිසුන් උනන්දු කරවයි. ආයතනය සතු නවෝත්පාදන සහ ව්යවසායකත්ව පද්ධතිය හරහා නව ව්යාපාර ආරම්භ කිරීම, කර්මාන්ත ක්ෂේත්රයේ සහයෝගීතාව, බුද්ධිමය දේපළ ආරක්ෂණය සහ වාණිජකරණය සඳහා අවශ්ය සහාය සිසුන්ට සහ පර්යේෂකයන්ට හිමිවේ. එමගින් උපාධිධාරීන්ට පවතින රැකියාවල නිරතවීමට අමතරව, නව ව්යාපාර ගොඩනැගීමටත්, නව විසඳුම් නිර්මාණය කිරීමටත්, අලුතින් රැකියා උත්පාදනය කිරීමටත් මග සැලසේ.
රාජ්ය අංශය, කර්මාන්ත ක්ෂේත්රය සහ ජාත්යන්තර අධ්යාපන ක්ෂේත්රය නියෝජනය කරන සම්භාවනීය ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙවර උපාධි ප්රදානෝත්සවය තවත් අර්ථවත් විය. ඒ අතර ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සහ ජනාධිපති ජ්යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා, ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්වවිද්යාලයේ මහාචාර්ය ටිමොති ජේම්ස් නිකොල් මහතා, මාගා ඉංජිනේරු සමාගමේ ඒකාබද්ධ කළමනාකාර අධ්යක්ෂ මේග කුලරත්න මහතා, බෙඩ්ෆෝඩ්ෂයර් විශ්වවිද්යාලයේ ව්යාපාරික පීඨයේ ක්රිස් මාෂල් මහතා, මැන්චෙස්ටර් මෙට්රොපොලිටන් විශ්වවිද්යාලයේ ආචාර්ය රේචල් වියාඩර් නොවුල්ස් මහත්මිය සහ මැක්ලරන්ස් සමූහ ව්යාපාරයේ කළමනාකාර අධ්යක්ෂ ෂෙහාරා ද සිල්වා මහත්මිය ප්රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූහ.


