
කොළඹ, 2026 ඔක්තෝබර් 12: මේ වනවිට කොළඹ – හෝ චි මිං නගරය අතර ගුවන් ගමන් ක්රියාත්මක කරන වියට්ජෙට් ගුවන් සමාගම, වියට්නාමයේ හැනොයි (Hanoi) නගරය, කසකස්ථානයේ අල්මාටි (Almaty) සහ චෙක් ජනරජයේ ප්රාග් (Prague) නගරය සම්බන්ධ කරමින් සිය පළමු ගුවන් ගමන් සේවාව ආරම්භ කර ඇති බව නිල වශයෙන් නිවේදනය කොට තිබේ. ඒ අනුව, සිය අන්තර් මහාද්වීපික ගුවන් ගමන් ජාලය පුළුල් කරමින් යුරෝපීය වෙළෙඳපොළට පිවිසෙන වියට්ජෙට් ගුවන් සමාගම, මෙම නව ගුවන් සේවාවන් හරහා වඩාත් සහනදායී ගුවන් ගමන් පහසුකම් සැලසීමට මෙන්ම ආසියාව සහ යුරෝපය අතර සංචාරක, වෙළෙඳ හා සංස්කෘතික හුවමාරුව තවදුරටත් වර්ධනය කිරීමට ද අපේක්ෂා කරයි.
මෙම නව ගුවන් සේවාව මගින්, වියට්ජෙට් සමාගම කොළඹ සිට ක්රියාත්මක කරනු ලබන ගුවන් ගමන් ජාලය තවදුරටත් පුළුල් වනු ඇත. 2026 අගෝස්තු මාසයේ සිට කොළඹ – හෝ චි මිං නගරය අතර නව ගුවන් සේවාව සතියකට දින තුනක්, එනම් අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල ක්රියාත්මක වන අතර කොළඹ–හෝ චි මිං නගරය සිට මාලදිවයින් දක්වා වූ නව ගුවන් සේවාව 2026 දෙසැම්බර් 5 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබේ. හැනෝයි නගරය, මේ වනවිට මධ්යම ආසියාව සහ යුරෝපය සමඟ සම්බන්ධ වී ඇති බැවින් වියට්ජෙට් හි පුළුල් ගුවන් ජාලය ඔස්සේ ශ්රී ලාංකික සංචාරකයින්ට ළඟා විය හැකි ගමනාන්ත සංඛ්යාව තවදුරටත් ඉහළ යනු ඇත.
ඔක්තෝබර් 10 වන දින අල්මාටි ජාත්යන්තර ගුවන්තොටුපළ සහ ප්රාග් හි වාට්ස්ලාව් හාවෙල් (Václav Havel) ගුවන්තොටුපළ කේන්ද්ර කරගනිමින්, දේශීය නායකයින්, ප්රදේශවාසීන් සහ සංචාරකයින්ගේ උණුසුම් ප්රතිචාර මැද මෙහි සමාරම්භක උත්සව පවත්වන ලදී. සාම්ප්රදායික ජල ආචාර (water cannon salutes) සහ දේශීය සංස්කෘතික උරුමයන් විදහා දක්වන සංස්කෘතික අංගයන්ගෙන් මෙම සමාරම්භක උත්සවය අලංකාරවත් විය. මෙය කලාප තුනක් යා කෙරෙන නව ගමන් මගක ඇරඹුම සනිටුහන් කරන අතර, ජාත්යන්තර සංචාරකයින් වියට්නාමය වෙත සාදරයෙන් පිළිගැනීම මෙහිදී සිදු කෙරුණි. මෙම සමාරම්භක ගුවන් ගමන් අවස්ථාව සඳහා සහභාගි වූ ගුවන් ගමන් මගීන්ට වියට්ජෙට් සමාගමෙන් සහ ගුවන්තොටුපළ වෙතින් විශේෂ සමරු තිළිණ ද පිරිනැමුණි.
මෙම නව ගුවන් ගමන් සේවාව අඟහරුවාදා සහ සෙනසුරාදා යන දිනවල සතියකට දින දෙකක්, පුළුල් බඳ සහිත
නවීන Airbus A330 ගුවන් යානා යොදා ගනිමින් ක්රියාත්මක වේ. මෙහිදී ගුවන් මගීන්ට සුවිශේෂී ආගන්තුක සත්කාර, විවිධ වූ රසවත් ආහාර පාන වර්ග සහ උසස් ගුවන් ගමන් අත්දැකීමක් සහිතව Business සහ SkyBoss ප්රවේශ පත්ර ලබා ගත හැකිය. විශේෂයෙන්ම, වියට්නාමයේ රටවැසියන්ට දින 30 දක්වා කාලයක් සඳහා වීසා නොමැතිව කසකස්ථානයට සංචාරය කිරීමට අවස්ථාව හිමි වනු ඇත.
චෙක් ජනරජයේ අගනුවර වන ප්රාග් නගරය, ගොතික් (Gothic), බාරොක් (Baroque) සහ ආර්ට් නූවෝ (Art Nouveau) ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණවලින් යුත් ගොඩනැගිලි, ඓතිහාසික චතුරස්ර සහ සියවස් ගණනාවක් පුරා විහිදුණු සංස්කෘතික උරුමයන් මෙන්ම කසකස්ථානයේ විශාලතම නගරය වන අල්මාටි, මනරම් ස්වාභාවික පරිසරය, විවිධ සංස්කෘතික අනන්යතාව සහ මධ්යම ආසියාවේ උපායමාර්ගික පිහිටීම හේතුවෙන් සංචාරක ආකර්ෂණයට දිනාගෙන තිබේ. එමෙන්ම, වියට්නාමයේ අගනුවර වන හැනෝයි, එරට සංස්කෘතික අනන්යතාව මැනවින් පිළිබිඹු කරන අතර, වියට්නාමයේ ප්රකට සංස්කෘතික හා ඓතිහාසික ස්ථාන මෙන්ම ස්වාභාවික උරුමයන් ද ගවේෂණය කිරීම සඳහා ජාත්යන්තර සංචාරකයින්ට පිවිසුම් දොරටුවක් ලෙස ක්රියා කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් වියට්ජෙට් හි ප්රධාන විධායක නිලධාරී න්ගුයෙන් තාන් සොන් (Nguyen Thanh Son) මහතා ප්රකාශ කර සිටියේ, මෙම නව ගුවන් මාර්ග ආරම්භ කිරීම ඔවුන්ගේ ජාත්යන්තර ගුවන් ගමන් ජාලය පුළුල් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බවයි. වියට්ජෙට් සමාගම යුරෝපය වෙත සිය සේවාවන් තවදුරටත් ව්යාප්ත කරන අතර, එමගින් යුරෝපය, ඕස්ට්රේලියාව සහ ආසියාව අතර ගමන් බිමන් වඩාත් පහසු කරන බවත් සංචාරකයින්ව වියට්නාමය වෙතට සාදරයෙන් පිළිගන්නා බවත් සඳහන් කළ ඔහු පෙන්වා දුන්නේ, වියට්නාම සහ ජාත්යන්තර සංචාරකයින් සංස්කෘතියෙන්, උරුමයෙන් සහ අනන්ය අත්දැකීම්වලින් පිරි ගමනාන්ත වෙත සමීප කරවීමට මෙන්ම වෙළඳාම සහ ආයෝජන වර්ධනයට සහාය වීමටත් බලාපොරොත්තු වන බවයි.
වියට්ජෙට්හි, අඩු ඉන්ධන පරිභෝජනයක් සහිත ගුවන් යානා , වඩාත් සහනදායි පාරිභෝගික සේවාවන් සහ ගුවන් සේවාව සදහා එක්වන මගීන්ට ගුවන් සේවයේ සුහදශීලී කාර්ය මණ්ඩලය විසින් පිරිනමනු ලබන වියට්නාමයේ ජනප්රිය ආහාර වර්ග වන ‘ෆෝ’ (Pho) , ‘බාන් මී’ (Banh Mi) සහ වියට්නාම අයිස් මිල්ක් කොෆී (Vietnamese iced milk coffee) ඇතුළු උණුසුම් මෙන්ම රසවත් ආහාර වේලක් රසවිඳිය හැකි අතර පොළොවේ සිට මීටර් 10,000ක් පමණ ඉහළ අහසේ දී සංස්කෘතික හා විනෝදාස්වාද වැඩසටහන් මගීන් වෙත සමීප කරමින්, සෑම ගුවන් ගමනකටම අමතක නොවන සංචාරක අත්දැකීමක් එක් කරයි.
ගුවන් ගමන් කාලසටහන (දේශීය වේලාවෙන්)
VJ031: හැනෝයි (HAN) පෙ.ව. 08:25 සිට අල්මාටි (ALA) ප.ව. 12:50 දක්වා / අල්මාටි (ALA) ප.ව. 14:20 සිට ප්රාග් (PRG) ප.ව. 18:55 දක්වා,
VJ032: ප්රාග් (PRG) ප.ව. 20:55 සිට අල්මාටි (ALA) පෙ.ව. 06:40 (+1) දක්වා / අල්මාටි (ALA) පෙ.ව. 08:10 සිට හැනෝයි (HAN) ප.ව. 16:20 දක්වා,
අල්මාටි හරහා සම්බන්ධ වන කාලය ආසන්න වශයෙන් මිනිත්තු 90 කි.


