අධ්‍යාපනයෙන් ලබන සවිය, සමානාත්මතාව සහ පිරිපුන් බව විදහා දැක්වුණු NextGen කුසලතා සංවර්ධන වැඩසටහන නුවරඑළියේදී

Clare Sears Country Director British Council (LBN)

(නුවරඑළිය, ශ්‍රී ලංකාව) නුවරඑළියේ Araliya Green Hills හිදී පසුගියදා පැවැත්වුණු NextGen Skills Awards සම්මාන උළෙල සහ ශිෂ්‍ය කුසලතා ප්‍රදර්ශනයේදී දෙමළ මාධ්‍ය වතු පාසල් තුනක තරුණ තරුණියන්ගේ කුසලතා එළි දැක්වුණු අතර, ජයග්‍රාහකයන්ට ඇගයුම් හා සහතික පිරිනමනු ලැබීය.

මෙම සුවිශේෂී නියමු ව්‍යාපෘතියේදී සිසුන්ගේ කථිකත්වය, නාට්‍ය හා නර්තන හැකියාවන් විදහා දක්වන්නට ද අවස්ථාව හිමිවී තිබූ අතර ඔවුන්ගේ ආත්ම විශ්වාසය, නිර්මාණශීලීත්වය සහ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය ප්‍රදර්ශනය කරන්නට ද මේ හරහා අවස්ථාව හිමි විය. මෙම වැඩසටහනට සහභාගී වූ සිසුන් 100කට වැඩි පිරිසකට සහතිකපත් ප්‍රදානය කෙරුණු අතර, ශිෂ්‍ය කණ්ඩායම් නායකයින්, ගුරු භවතුන්, පාසල් ප්‍රධානීන් සහ විවිධ පාර්ශව නියෝජනය කළ අධ්‍යාපන හවුල්කරුවන් ද ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් ඇගයීමට ලක් කෙරිණි.




අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යන ආයතනවල පූර්ණ සහයෝගය හා උපදේශකත්වය යටතේ බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් සංවිධාන කරනු ලැබූ NextGen Skills නියමු ව්‍යාපෘතියේ සුවිශේෂී කඩඉමක් ලෙස මෙම උත්සවය සාර්ථක අයුරින් පැවැත්වුණි. මේ සඳහා හොල්බෲක් දෙමළ මහා විද්‍යාලය, ආගරපතන දෙමළ මහා විද්‍යාලය සහ සෞම්‍යමූර්ති තොණ්ඩමන් විද්‍යාලය යන විදුහල්වල සිසු දරු දැරියන් සහභාගී විය.

බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් ගැහැනු ළමුන් වෙනුවෙන්ම ක්‍රියාත්මක කරනු ලබන ‘ඩිජිටල් සහ ගැහැනු ළමුන්ගේ අධ්‍යාපනය’ (EDGE) වැඩසටහනට අදාළ විශේෂාංග ද මෙම NextGen Skills වැඩසටහනට ඇතුළත්ව තිබිණ. පාසැල් ළමා සමාජවල ගැහැනු පිරිමි මිශ්‍ර සහභාගීත්වය යටතේ ශ්‍රී ලංකාවට ගැළපෙන ආකාරයේ වැඩසටහනක් ලෙස සකස් කර තිබූ මෙම නියමු ව්‍යාපෘතිය සඳහා අවුරුදු 12-15 වයස් කාණ්ඩයේ සිසුන් 142 දෙනෙකු සහභාගී වූ අතර, කණ්ඩායම් නායකයන් (Peer-Group Leader) ලෙස පුහුණුව ලැබූ සිසුන් 43 දෙනෙකු ද විය.

වැඩසටහනේ සිදු කළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් සිසුන්ට ඉංග්‍රීසි සන්නිවේදනය, ඩිජිටල් සාක්ෂරතාවය, සමාජ සංවේදීබව, නායකත්වය සහ පුළුල් ජීවිත කුසලතා වර්ධනයට අවස්ථාව හිමි විය. ක්‍රියාකාරකම් මෙහෙයවීමට, සහභාගීත්වය දිරිගැන්වීමට සහ සිසුන්ට එකිනෙකා සමඟ සහයෝගයෙන් ඉගෙන ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමට කණ්ඩායම් නායකයන්ට සහයෝගය ලබා දෙන ලදී.

මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ඉංග්‍රීසි සහ පාසල් අධ්‍යාපන ප්‍රධානී, අංජු මෝසෙස් මහත්මිය සඳහන් කළේ, “ආරම්භයේදී බොහෝ සිසුන් නිහඬව, තමන් ගැන අවිනිශ්චිත බවකින් මෙම වැඩසටහනට සම්බන්ධ වුනත්, ක්‍රමයෙන් මිතුරු සම්බන්ධතා ගොඩනගා ගැනීමට, නායකත්වය දීමට සහ තම අදහස් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ආත්ම විශ්වාසය මේ වැඩසටහනට හරහා ලබාගත් බව අපි දුටුවා. මෙය NextGen Skills වැඩසටහනේ හදවත බඳු සුවිශේෂී අදියරක්.” යනුවෙන් එතුමිය වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළාය. මේ හරහා තරුණ තරුණියන්ට වෙනස් ආකාරයකින් තමන්වම දකින්නට අවස්ථාව උදා වූ අතර, මෙම නියමු ව්‍යාපෘතියේ පුරෝගාමීන් ලෙස, ඔවුන්ගේ අත්දැකීම් සහ සාර්ථකත්වය අනෙක් අයටද මඟ පෙන්වනු ඇත.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ මෙරට අධ්‍යක්ෂ ක්ලෙයාර් සියර්ස් මහත්මිය අදහස් දක්වමින්, “NextGen Skills වැඩසටහන බ්‍රිතාන්‍ය කවුන්සිලයේ එක් ප්‍රධාන අරමුණක් පිළිබිඹු කරනවා. ඒ තමයි, ඉංග්‍රීසි යනු විෂයයක් පමණක් නොව, තරුණ තරුණියන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට, සබඳතා ගොඩනගා ගැනීමට සහ නව අවස්ථා ළඟා කරගැනීමට ඉඩ සලසන මාධ්‍යයක් විය යුතුය යන කාරණය. සිසුන් හුදෙක් ප්‍රතිලාභ ලබන්නන් ලෙස පමණක් නොව, දායකත්වයක් සපයන්නන් ලෙසද පිළිගැනීම මඟින්, සම වයස් කණ්ඩායම්වලට නායකත්වය දීමට ඔවුන්ට හොඳ පුහුණුවක් මේ හරහා ලැබෙනවා. මෙම ආකෘතිය මඟින් ඔවුන්ට එකිනෙකා සමඟ එකට වැඩ කිරීමට, ඉගෙන ගැනීමට මනා අවකාශයක් ද නිර්මාණය කරදෙනවා.” යනුවෙන් පැවසුවාය.

නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉංග්‍රීසි අංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මිකා ගොඩපතිරණ මහත්මිය සඳහන් කළේ, තෝරාගත් පාසල් තුන තුළ ලැබුණු මෙම අත්දැකීම මඟින් ඉංග්‍රීසි සහ ඩිජිටල් කුසලතා ඉලක්කගත සංවර්ධනය සමඟ සම වයසේ මිතුරන්ගෙන් ඉගෙනුම (peer learning) ඒකාබද්ධ කරන ශිෂ්‍ය-කේන්ද්‍රීය ප්‍රවේශයන්හි වටිනාකම මේ තුළින් මනාව පෙන්නුම් කරන බවයි. සිසුන්ගේ ඉදිරි අධ්‍යාපනය, අනාගත රැකියා අවස්ථා සහ සමාජයේ සක්‍රීය සහභාගීත්වය සඳහා මෙම කුසලතා ඉතා වැදගත් වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ප්‍රවීණ උපදේශකවරුන්ගේ මනා අධීක්ෂණය යටතේ පැවති මෙම වැඩසටහන මඟින් සිසුන්ගේ ආත්ම විශ්වාසය, ඉංග්‍රීසි භාවිතය, සහභාගීත්වය, සහයෝගීතාව සහ නායකත්වය දීමට ඇති කැමැත්ත යන අංශවල ධනාත්මක වෙනස්කම් හඳුනා ගන්නා ලදී. එමෙන්ම, සම වයසේ මිතුරන් සමඟ මෙහෙයවන ආකෘතියක් ආරක්ෂිතව සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ හැකි පසුබිමක් නිර්මාණය කිරීමේදී ගුරු භවතුන්, පාසල් ප්‍රධානීන් සහ අධ්‍යාපන බලධාරීන්ගේ වැදගත්කම ද මේ තුළින් මනාව ඉස්මතු කරන ලදී.

මෙම ප්‍රදර්ශනය මඟින් සිසුන්ගේ උත්සාහයන් ඇගයීමට ලක් කෙරුණු අතර, අනාගතය සඳහා වටිනා ඉගෙනුම් අත්දැකීමක් ද ලබා දෙන්නට සමත් විය. බ්‍රිතාන්‍ය කවුන්සිලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරමින්, NextGen Skills වැඩසටහන හරහා අනාගතයේදී තවත් තරුණ තරුණියන්ට අවස්ථා නිර්මාණය කළ හැකි ආකාරය පිළිබඳ අඛණ්ඩව සොයා බැලීමට අපේක්ෂිතය. එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ ඵලදායී, පිරිපුන් හා යෝග්‍ය අධ්‍යාපනයක් සඳහා ඔවුන් දක්වන පුළුල් කැපවීම ද මේ තුළින් තවදුරටත් ශක්තිමත් කරනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව