
ශ්‍රී ලංකාවේ ලොජිස්ටික්ස් හා සැපයුම් දාම ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ කැපී පෙනෙන දායකත්වය ඇගයීම සඳහා ශ්‍රී ලංකා ලොජිස්ටික්ස් සහ ෆ්‍රේට් ෆෝවර්ඩර්ස් සංගමය (SLFFA) විසින් සංවිධානය කරන National Logistics Awards (NLA) 2026 ඔක්තෝබර් 28 වැනිදා කොළඹ Cinnamon Life හි Lumina Ballroomහිදී පැවැත්වීමට නියමිතය.
වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම සම්මාන උළෙල මේ වන විට ශ්‍රී ලංකාවේ ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයේ දක්ෂතා සහ විශිෂ්ට සේවාවන් ඇගයීම සඳහා ප්‍රමුඛතම වේදිකාවක් බවට පත්ව තිබේ. මෙවර සම්මාන සඳහා භාණ්ඩ ප්‍රවාහන සේවා, ගුවන් සේවා, නාවික ප්‍රවාහන සේවා, කුරියර් හා එක්ස්ප්‍රස් සේවා, ප්‍රවාහන ආයතන, බහාලුම් අංගන, ලොජිස්ටික්ස් මෘදුකාංග හා තාක්ෂණ සේවා, ව්‍යාපෘති ලොජිස්ටික්ස්, රේගු නිෂ්කාශන සේවා, ගබඩා හා බෙදාහැරීම් ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කෙරේ.
සම්මාන සඳහා ඉදිරිපත් වන ආයතන හා සේවා ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කෙරෙන අතර, රාජ්‍ය හා පෞද්ගලික අංශය, විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය සහ පළපුරුදු ලොජිස්ටික්ස් වෘත්තිකයන් එම ඇගයීම් සඳහා දායක වෙති. මෙහිදී මෙහෙයුම් කාර්යක්ෂමතාව, සේවා ගුණාත්මකභාවය, නවෝත්පාදනය, භාණ්ඩ ලුහුබැඳීමේ හැකියාව, විශ්වාසනීයත්වය, කාලානුරූපීභාවය සහ ජාත්‍යන්තර ලොජිස්ටික්ස් ප්‍රමිතීන් ඇතුළු කරුණු රැසක් සැලකිල්ලට ගැනේ.
අභියෝග මධ්‍යයේ රට සම්බන්ධ කළ ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයට ඇගයීමක්
කොවිඩ්-19 වසංගතය, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, භූදේශපාලනික අර්බුද සහ රතු මුහුද ආශ්‍රිත නාවික ගමනාගමන බාධා වැනි අභියෝග රැසක් මධ්‍යයේ වුවද, රටේ ආනයන හා අපනයන කටයුතු මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව පවත්වාගෙන යාමට ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයේ වෘත්තිකයන් විශාල දායකත්වයක් ලබා දී ඇත.
එබැවින් මෙම සම්මාන උළෙල හුදෙක් ජයග්‍රහණ සැමරීමක් පමණක් නොව, ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම, නවෝත්පාදනය සහ ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කිරීම මෙන්ම අඛණ්ඩ දියුණුව සඳහා ආයතන හා වෘත්තිකයන් දිරිගැන්වීමේ වැදගත් අවස්ථාවක් බව SLFFA පෙන්වා දෙයි.
එමෙන්ම ලොජිස්ටික්ස්, ෆ්‍රේට් ෆෝවර්ඩින් සහ සැපයුම් දාම කළමනාකරණ ක්ෂේත්‍රයේ පවතින පුළුල් වෘත්තීය අවස්ථා පිළිබඳව තරුණ පරපුර දැනුවත් කිරීමද මෙහි අරමුණකි. තාක්ෂණය මත වැඩි වශයෙන් රඳා පවතින නවීන ගෝලීය සැපයුම් දාමයක් සඳහා දක්ෂ නව පරපුරක් බිහි කිරීම ශ්‍රී ලංකාවේ අනාගත තරගකාරීත්වයට අතිශය වැදගත් වේ.
ශ්‍රී ලංකාව කලාපීය ලොජිස්ටික්ස් කේන්ද්‍රස්ථානයක් කිරීමේ අරමුණ
ලෝකයේ ප්‍රධාන නැගෙනහිර-බටහිර නාවික වෙළෙඳ මාර්ගයක උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාවට කලාපීය ලොජිස්ටික්ස් සහ බෙදාහැරීම් කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් වර්ධනය වීමට විශාල හැකියාවක් පවතී.
1981 වසරේදී පිහිටුවන ලද SLFFA, ශ්‍රී ලංකාවේ ෆ්‍රේට් ෆෝවර්ඩර්ස් සහ ලොජිස්ටික්ස් සේවා සපයන්නන් එකම වෘත්තීය සංවිධානයක් යටතට ගෙන ඒම සහ ක්ෂේත්‍රයේ වෘත්තීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වේ. අද වන විට සාමාජික සමාගම් 182කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන SLFFA, කර්මාන්ත ප්‍රතිපත්ති, වෘත්තීය සංවර්ධනය, අධ්‍යාපනය හා පුහුණුව මෙන්ම ජාත්‍යන්තර හොඳම භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දෙයි.
ඒ අනුව National Logistics Awards 2026 යනු සම්මාන උළෙලකට වඩා වැඩි වැදගත්කමක් සහිත අවස්ථාවක් වන අතර, ශ්‍රී ලංකාවේ වෙළෙඳ කටයුතු ලෝකය සමඟ සම්බන්ධ කරමින් ආර්ථිකයට ශක්තියක් සපයන ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයේ ආයතන හා වෘත්තිකයන්ගේ කැපවීම ඇගයීමට ලක් කරන සුවිශේෂී අවස්ථාවක් බවට පත්වනු ඇත.


