
සම්පත් බැංකුව 2026 වසරේ ජුනි 30 වන දිනෙන් අවසන් වූ පළමු අර්ධය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, මුළු මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 63.3 ක් ලෙස සටහන් කළ අතර, එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 17% ක වර්ධනයකි. මේ සඳහා මූලික වශයෙන් බැංකුවේ ශුද්ධ පොලී ආදායම (NII) හා ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම දායක වූ අතර එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී පිළිවෙළින් 11%ක සහ 26% වාර්ෂික වර්ධනයන් පෙන්නුම් කරයි.
කෙසේ වෙතත්, අපහායන අයකිරීම් සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් බැංකුවේ ඉපැයීම් කාර්යසාධනය සීමා වූ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස, ශුද්ධ මෙහෙයුම් ආදායම පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 10% ක මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කරන ලදී.
නව උපායමාර්ගික මුලපිරීම් ක්‍රියාවට නැංවීම සඳහා සිදු කළ නව සේවක බඳවා ගැනීම් හා තොරතුරු තාක්ෂණය ආශ්රිත අඛණ්ඩ ආයෝජන හේතුවෙන් මෙහෙයුම් වියදම් ඉහළ යාම මධ්‍යයේ බැංකුව රුපියල් බිලියන 16.6 ක බදු පසු ලාභයක් වාර්තා කළ අතර, එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 13% ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම ප්‍රතිඵලය බැංකුවේ ව්‍යාපාරික ආකෘතියේ ශක්තිමත්භාවය මනා අවදානම් කළමනාකරණය සහ පාර්ශ්වකරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරමින් තිරසාර ලාභදායීතාවයක් පවත්වාගෙන යාමේ හැකියාව පිළිබිඹු කරයි.
2026 ජූනි 30 දිනෙන් අවසන් වූ කාලපරිච්ඡේදය සඳහා සම්පත් සමූහයද රුපියල් බිලියන 26.6 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 17.9 ක බදු පසු ලාභයක් වාර්තා කරන ලදී.
සලකනු ලබන කාලපරිච්ඡේදය සඳහා බැංකුවේ මුළු පොළී ආදායම රුපියල් බිලියන 97.8 ක් වූ අතර, එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 9% ක වර්ධනයකි. මේ සඳහා ණය කළඹෙහි සිදු වූ අඛණ්ඩ වර්ධනය හා අවදානම් මත බර තබන ලද ප්රමුඛ ණය අනුපාතයෙහි (AWPLR) සිදු වූ උච්ඡාවචනය මූලික වශයෙන් හේතු විය.
පොලී වියදම පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 8% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 55.1 ක් ලෙස වාර්තා වූ අතර මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ තැන්පතු පදනමේ වර්ධනය සහ ණය කළඹෙහි සිදුවූ වේගවත් වර්ධනයට සහාය වීම සඳහා ලබාගත් අමතර ණයගැනීම්ය. කෙසේ වෙතත්, පොලී ආදායමේ වර්ධනය පොලී වියදමෙහි වර්ධනය ඉක්මවා ගිය බැවින්, ශුද්ධ පොලී ආදායම පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 11% කින් වර්ධනය වී රුපියල් බිලියන 42.8 ක් ලෙස වාර්තා විය. වෙනස්වන පොලී අනුපාත සහිත පරිසරයක් තුළ වුවද පොලී ආන්තිකය කාර්යක්ෂමව කළමනාකරණය කරමින් අඛණ්ඩ වර්ධනයක් පවත්වාගෙන යාම සඳහා බැංකුවේ ඇති හැකියාව මෙමගින් පෙන්නුම් කරයි.
මේ අනුව, බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය (NIM) ද, 2025 වසරේ වාර්තා කළ 4.11% සිට 4.21% දක්වා වර්ධනය විය. වෙළඳපොල පොලී අනුපාතිකවල හිතකර වෙනස්වීම් හමුවේ ණය හා අත්තිකාරම් කළඹෙන් ලැබූ ප්රතිලාභ අනුපාතිකයන්හි වර්ධනය හා ණය කළඹෙහි සිදු වූ අඛණ්ඩ වර්ධනය මෙම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් දායක විය.
2026 වසරේ පළමු අර්ධය සඳහා සම්පත් බැංකුවේ අරමුදල් මත පදනම් නොවූ ආදායම පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 30% කින් වර්ධනය වී රුපියල් බිලියන 20.5 ක් දක්වා ඉහළ ගියේය. මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායක වූයේ ගාස්තු හා කොමිස් ආදායමේ අඛණ්ඩ වර්ධනය සහ විදේශ විනිමය ගනුදෙනුවලින් ලැබූ ආදායමේ සැලකිය යුතු ඉහළ යාමයි.
බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 26% කින් වර්ධනය වී රුපියල් බිලියන 12.2 ක් ලෙස වාර්තා වූ අතර, බැංකුවේ ණය කළඹෙහි අඛණ්ඩ වර්ධනය සහ ප්‍රධාන ව්‍යාපාරික අංශයන්හි ගනුදෙනු පරිමාවන් ඉහළ යාම මෙම වර්ධනය සඳහා හේතු විය.
එමෙන්ම, මුළු විනිමය ආදායමද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් රුපියල් බිලියන 7.2 ක් වාර්තා කළ අතර, එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 198% ක වර්ධනයකි. මෙම වැඩිවීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ සලකනු ලබන කාලපරිච්ඡේදය තුළදී ඇමෙරිකානු ඩොලරයට (USD) සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 26.12 කින් අවප්‍රමාණය වීම සහ විදේශ විනිමය ගනුදෙනු ප්‍රමාණයේ ඉහළ යාමයි.
කෙසේ වෙතත්, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීමෙන් ලැබූ ප්‍රාග්ධන ලාභ 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදය සඳහා වාර්තා වූ රුපියල් බිලියන 3.5 සිට සලකනු ලබන කාලපරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 1.0 දක්වා අඩුවිය. පවතින වෙළඳපොළ පරිසරය යටතේ ප්‍රාග්ධන ලාභ වාර්තා කිරීමට තිබූ අවස්ථා සීමිත වීම මෙම අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු විය.
බැංකුව විසින් 2026 පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 5.0 ක අපහායන අයකිරීමක් හඳුනා ගත් අතර, එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය සඳහා වාර්තා කළ රුපියල් බිලියන 1.2 ට සාපේක්ෂව රුපියල් බිලියන 3.8 ක වැඩි වීමකි. මෙම වර්ධනය වූ අපහායන වියදම් සඳහා බැංකුවේ ණය කළඹේ අඛණ්ඩ වර්ධනය හා අනුගමනය කරන ලද විචක්ෂණශීලී ප්‍රතිපාදන ප්‍රතිපත්තිය බලපානු ලබයි.
2026 වසරේ පළමු අර්ධය තුළ බැංකුවේ මෙහෙයුම් වියදම් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 21% කින් ඉහළ ගියේය. මෙම වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ නව උපායමාර්ගික අරමුණු සඳහා සේවක සංඛ්‍යාව වැඩි කිරීම, වාර්ෂික වැටුප් සංශෝධන ගනුදෙනු පරිමාවන් ඉහළ යාම සහ තාක්ෂණික හා ඩිජිටල් හැකියාවන් සඳහා සිදුකළ අඛණ්ඩ ආයෝජනයි. මීට අමතරව, ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශ මුදල් වලින් ගෙවන ලද වියදම්ද ඉහළ යන ලදී.
තවද, 2026 වසරේ පළමු අර්ධය තුළදී සම්පත් බැංකුව සිය වර්ධනය අඛණ්ඩව පවත්වාගත් අතර, 2025 වසර අවසානයට සාපේක්ෂව සිය වත්කම් පදනම 8% කින් වර්ධනය කර ගනිමින් 2026 ජූනි 30 වන දින වන විට මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 2.13 දක්වා ඉහළ නැංවීය. මෙම වර්ධනය සඳහා බැංකුවේ ණය කළඹේ සිදුවූ කැපී පෙනෙන වර්ධනය දායක වූ අතර, දළ ණය හා අත්තිකාරම් රුපියල් බිලියන 226 කින් වර්ධනය වී රුපියල් බිලියන 1,449 ක් ලෙස වාර්තා විය. බැංකුවේ තැන්පතු පදනමද රුපියල් බිලියන 118 කින් වර්ධනය වූ අතර 2026 ජූනි 30 වන දින වන විට එය රුපියල් ට්‍රිලියන 1.76 ක් ලෙසට වාර්තා විය.
තවද, කාලපරිච්ඡේදය පුරාවට සියලුම ප්‍රාග්ධන අනුපාතයන් අවම නියාමන අවශ්‍යතාවයන්ට වඩා ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට බැංකුව සමත් විය. 2026 ජුනි 30 වන දිනට පළමු පෙළ සාමාන්‍යය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය, පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය හා මුළු ප්‍රාග්ධන අනුපාතයන් පිළිවෙළින් 13.21%, 13.21% හා 15.62% ක් ලෙස වාර්තා කරන ලදී.


