MAS සමුහයේ සහ Brandix ලංකා මූල්‍ය දායකත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලය තුළ Smart School වැඩසටහන අරඹයි

AS8A9553 (LBN)

MAS සමූහය සහ Brandix ලංකා හි පූර්ණ සහයෝගීතාවයෙන්, කොළඹ රාජකීය විද්‍යාලය පරිපූර්ණ ස්මාර්ට් පාසලක් බවට පත් කිරීමේ සුවිසල් ව්‍යාපෘතියක් ආරම්භ කළ බව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

රුපියල් මිලියන 180ක දැවැන්ත ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ සිසුන් වෙනුවෙන් වඩාත් අන්තර්ක්‍රියාකාරී, පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ අනාගතයට ගැළපෙන ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමයි. මීට අමතරව, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ආකර්ෂණීය සහ ඵලදායී එකක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වන නවීන තාක්ෂණය, විශේෂ පුහුණුව සහ සම්පත්වලින් ගුරු මණ්ඩලය සන්නද්ධ කිරීමද මෙහි තවත් එක් අපේක්ෂාවක් වේ.




මෙම ව්‍යාපෘතිය යටතේ ස්මාර්ට් ක්ලාස් රූම් හෙවත් “සුහුරු පන්ති කාමර” 141ක් ස්ථාපිත කිරීමට නියමිත අතර එය, පාසල් පරිශ්‍රය පුරා විහිදුණු ෆයිබර් ඔප්ටික් ජාලයක්, ඒකාබද්ධ ඉගෙනුම් පද්ධතියක් සහ පාසල් කළමනාකරණ පද්ධතියක් සමඟ සම්බන්ධ වේ. එමෙන්ම අධිවේගී සබඳතා පහසුකම් හා cloud යටිතල පහසුකම්, ගුරු පුහුණු මධ්‍යස්ථානය සමඟින් විද්‍යුත් සහයෝගී පන්ති කාමර මෙන්ම ඩිජිටල් අධ්‍යාපනික වීඩියෝ නිර්මාණ සිදු කළ හැකි ස්ටුඩියෝ පහසුකම් ස්ථාපිත කිරීමටත් නියමිතයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් වන MAS සමූහයේ සභාපති දේශමාන්‍ය මහේෂ් අමලියන් සහ බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් යන මහත්වරුන්ගේ සුවිශේෂී මූල්‍ය දායකත්වය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්විය. ඔවුන්ගේ මෙම පූර්ණ සහයෝගය සහ මැදිහත් වීම හරහා, ශීඝ්‍රයෙන් වෙනස් වන නවීන තාක්ෂණික ලෝකයට ගැළපෙන පරිදි මෙරට දරු පරපුරේ අධ්‍යාපන අවස්ථාවන් පුළුල් කිරීමටත්, ඔවුන්ව අනාගතය වෙනුවෙන් සූදානම් කිරීමටත් හැකියාව උදා වනු ඇත.

මෙම සුවිශේෂී ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දැක්වූ MAS සමූහයේ සභාපති දේශමාන්‍ය මහේෂ් අමලියන් මහතා ප්‍රකාශ කළේ ලෝකය ශීඝ්‍රයෙන් වෙනස් වන විට, තරුණ පරපුරට ජීවිතය ජය ගැනීම සඳහා අවශ්‍ය කුසලතා සහ හැකියාවන්ද ඒ සමඟ වෙනස් විය යුතු බවයි. ඒවගේම අධ්‍යාපන ක්‍රමවේදයද එම වේගයටම ගැළපෙන පරිදි යාවත්කාලීන විය යුතු බවත් මෙම වැඩපිළිවෙළ හරහා සිසුන්ට වඩාත් ආකර්ෂණීය ලෙස ඉගෙන ගැනීමටත්, නව කුසලතා සහ ගවේෂණශීලී දැනුම ඉහළ නංවා ගැනීමටත් උපකාර වන බවයි. ගුරුවරුන්ට වඩාත් සාර්ථකව ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය නවීන මෙවලම් ලබා දෙන මෙම සංකල්පය මුළු මහත් ශ්‍රී ලංකාවේම පාසල් පද්ධතිය නව්‍යකරණයට ලක් කිරීමේ ආදර්ශය ව්‍යාපෘතියක් ලෙසත් සැලකිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රැන්ඩික්ස් ලංකා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ තරුණ පරපුරෙහි දක්ෂතාවය කිසිදු අඩුවක් නොමැති බවයි. අපේ දරුවන්ට ලෝකයේ හොඳම දේ සමග තරග කිරීමට අවශ්‍ය කරන නිවැරදි පරිසරය සහ මෙවලම් ලබා දිය යුතුයි. මෙම ව්‍යාපෘතිය තුලින් ඒ ශක්තිය ඔවුන් වෙත ලබා දෙනවා. ඉන් වඩාත් වේගයෙන් ඉගෙන ගැනීමටත්, වඩාත් හොඳින්  සිතීමටත්, අනාගතය සඳහා සාර්ථකව හැඩගැසීමටත් හැකියාව උදා වනවා. රාජකීය විද්‍යාලය එදා අපට ලබා දුන් දේ පිළිබඳව හොඳින්ම දන්නා මහේෂ් සහ මම එක්ව ඊළඟ පරම්පරාව වෙනුවෙන් සිදුකළ හැකි හොඳම ආයෝජනය මෙය බව විශ්වාස කරනවා.”

පන්ති කාමරවලට තාක්ෂණික උපකරණ හඳුන්වා දීමට අමතරව මෙම ස්මාර්ට් පාසල් ව්‍යාපෘතිය වඩාත් අන්තර්ක්‍රියාකාරී සහ එක් එක් සිසුවාට ගැලපෙන පුද්ගලීකරණය කළ ඉගෙනුම් ක්‍රමවේදයන් ඉහළ නැංවීමටත්, ඩිජිටල් සාක්ෂරතාවය සහ විවේචනාත්මක චින්තනය ශක්තිමත් කිරීමටත් සහාය වේ. මීට අමතරව, පන්ති කාමරයෙන් පිටතදී වුවද පාඩම් සහ අධ්‍යාපනික සම්පත් පරිශීලනය කිරීමේ අවස්ථාව සිසුන්ට ලැබෙන අතර, ගුරුවරුන් සඳහා අඛණ්ඩ පුහුණුව ලබාදෙමින් වඩාත් පොහොසත් අධ්‍යාපනික අන්තර්ගතයන් නිර්මාණය කිරීමට ඔවුන්ට හැකියාව ලබා දෙයි. මෙහි ඇති තවත් විශේෂාංගයක් වන්නේ, උසස් පෙළ/ජ්‍යෙෂ්ඨ පන්ති කාමර දෙකක් සහයෝගී ඉගෙනුම් අවකාශයන් ලෙස නවීකරණය කිරීමයි. එමඟින්, කොළඹ රාජකීය විද්‍යාලයේ සජීවීව පැවැත්වෙන පන්ති කාමර දේශන හා පාඩම් මාලාවන් සමඟ, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පිහිටි ආරාධිත පාසල්වල සිසුන්ටද සජීවීව සම්බන්ධ වී ඉගෙන ගැනීමට අවස්ථාව හිමිවේ.

රාජකීය විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන මහතා ද මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ “මෙම ස්මාර්ට් පාසල් ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් මහේෂ් අමලියන්, අෂ්රොෆ් ඕමාර්, MAS Holdings, බ්‍රැන්ඩික්ස් ලංකා සහ ජෝන් කීල්ස් පදනම ලබා දුන් සුවිශේෂී දායකත්වය පිළිබඳ අපගේ කෘතඥතාවය පිරිනමනවා. ඔවුන් සිදු කළ මෙම පරිත්‍යාගය අපගේ සිසුන් ඉගෙන ගන්නා ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇති අතර, වඩාත් අන්තර්ක්‍රියාකාරී සහ අර්ථවත් ඉගෙනුම් අත්දැකීම් නිර්මාණය කිරීමට අපගේ ගුරු මණ්ඩලයට විශාල ශක්තියක් ලබා දෙනවා. අපගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිදුකළ වටිනා ආයෝජනයක් වන මෙය අනාගත රාජකීය පරම්පරාවන් වෙත සුවිසල් මෙහෙවරක් ඉටු කරනු ඇතැයි මම විශ්වාස කරනවා.” යනුවෙනි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව රාජකීය විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ ලේකම් පසන් වනිගසේකර මහතා ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්. “මෙම වැඩපිළිවෙළ මඟින් අනාගතය උදෙසා පාසල් මාතාව තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් ආදි රාජකීයයන් සතු අප්‍රතිහත කැපවීම මනාව පිළිබිඹු වනවා. අප වෙනුවෙන් මෙම දූරදර්ශී සහයෝගය ලබාදීම පිළිබඳව දේශමාන්‍ය මහේෂ් අමලියන්, අෂ්රොෆ් ඕමාර්, MAS Holdings සහ බ්‍රැන්ඩික්ස් ලංකා යන ආයතනවලට අපගේ අවංක කෘතඥතාවය පිරිනමනවා. ඔවුන්ගේ මෙම දායකත්වය හුදෙක් රාජකීයයන්ගේ පමණක් නොව, මුළු මහත් ශ්‍රී ලංකාවේම අනාගත පරපුර වෙනුවෙන් සිදුකළ විශිෂ්ට ආයෝජනයක් ලෙස පෙන්වා දිය හැකියි.”

රාජකීය විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය මෙම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය හරහා ලබාගන්නා සියලුම ප්‍රායෝගික අත්දැකීම් උපයෝගී කරගනිමින් නිල ස්මාර්ට් පාසල් මෙහෙයුම් අත්පොතක් සකස් කිරීමටද අරමුණු කොට ගෙන ඇත. මීළඟ අදියර යටතේ රජයේ අධ්‍යාපන බලධාරීන්, පරිත්‍යාගශීලීන්, තාක්ෂණික සේවා සපයන්නන් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ හවුල්කාරීත්වයක් ඇති කර ගැනීම හරහා මෙම තාක්ෂණික ආකෘතිය ශ්‍රී ලංකාව පුරා තෝරාගත් අනෙකුත් පාසල්හි අධ්‍යාපන පහසුකම් ඉහල නැංවීම සඳහාද භාවිත කිරීමට කටයුතු යොදනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව