
නෙළුම් කුළුණ පළමු හවුල්කරු වෙයි – සංචාරක, සංස්කෘතික, විනෝදාස්වාද සහ වෙළෙඳ අත්දැකීම් එකම ඩිජිටල් යෙදුමක් ඔස්සේ
කොළඹ නගරයේ සංකේතාත්මක සලකුණ වන නෙළුම් කුළුණෙන් ආරම්භ කරමින්, සංචාරක ස්ථාන, ආපනශාලා, විනෝදාස්වාද මධ්‍යස්ථාන, සාප්පු සංකීර්ණ සහ සංස්කෘතික ආකර්ෂණ එකම ඩිජිටල් යෙදුමක් ඔස්සේ එකිනෙකට සම්බන්ධ කරන ” කළම්බු කනෙක්ට්” (Colombo Connect) වැඩසටහන PickMe ආයතනය ඊයේ 5 වැනි දින එළිදැක්වීය.
මෙම වැඩසටහන කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේ දියත් කෙරුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා සහභාගී විය. එම අවස්ථාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, කොළඹ නෙළුම් කුළුණේ සභාපති ශිරන්ත පීරිස් මහතා, සංචාරක ලේඛිකා, ඡායාරූප මාධ්‍යවේදිනී සහ කතුවරියකු වන ජුලියට් කූම්බ් මහත්මිය මෙන්ම PickMe සහ කොළඹ නෙළුම් කුළුණේ කළමනාකාරීත්ව කණ්ඩායම්වල සාමාජිකයින් ඇතුළු තවත් විශේෂ ආරාධිතයින් රැසක් ද එක්ව සිටියහ.
‘කළම්බු කනෙක්ට්’ වැඩසටහනේ පළමු හවුල්කරු ලෙස නෙළුම් කුළුණ එක්ව සිටින අතර, කොළඹ නගරය ගවේෂණය කිරීමේ ආරම්භක ස්ථානය ලෙස ද එය නම් කර තිබේ. ඉදිරියේදී නගරය පුරා පිහිටි සංචාරක, සංස්කෘතික, විනෝදාස්වාද සහ වෙළෙඳ ආකර්ෂණ රැසක් මෙම පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතය.
මෙම වැඩසටහන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ පසු සංචාරක, ආපනශාලා, ප්‍රවාහන, වෙළෙඳ හා විනෝදාස්වාද ක්ෂේත්‍රවල වාර්ෂිකව රුපියල් බිලියන 30කට අධික ආර්ථික ක්‍රියාකාරකම් උපදවීමට හැකි වනු ඇතැයි PickMe ආයතනය ඇස්තමේන්තු කරයි.
මෙහිදී අදහස් දැක්වූ PickMe ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් මහතා පැවසුවේ කොළඹට අවශ්‍ය සංචාරක ආකර්ෂණ, ආහාරපාන, සංස්කෘතික සහ විනෝදාස්වාද අත්දැකීම් සියල්ල තිබුණද, ඒවා එකිනෙකට සම්බන්ධ අත්දැකීමක් ලෙස ජනතාවට හඳුන්වා දෙන ක්‍රමවේදයක් මෙතෙක් නොතිබූ බවයි. “අද කොළඹ හැම තැනක්ම වෙන වෙනමයි ප්‍රවර්ධනය කෙරෙන්නේ. නෙළුම් කුළුණ, කෞතුකාගාර, ආපනශාලා, උත්සව සහ විනෝදාස්වාද ස්ථාන එක් එක් ආකාරයට ප්‍රවර්ධනය වන නිසා නගරයේ සම්පූර්ණ අත්දැකීම සංචාරකයන්ට හෝ වාසිකයින්ට ලැබෙන්නේ නැහැ. ‘කළම්බු කනෙක්ට්’ හි සංකල්පය වන්නේ ඒ සියල්ල එකට සම්බන්ධ කර, කොළඹ නගරය එකම ගමනාන්තයක් ලෙස හඳුන්වා දීමයි.”
PickMe ආයතනය සිය උත්සව, විවිධ ප්‍රසංග, ප්‍රදර්ශන වැනි විවිධ විශේෂ අවස්ථා සඳහා ප්‍රවේශපත් වෙන්කර ගැනීම වෙනුවෙන් හඳුන්වා දී ඇති පික්මී ඉවෙන්ට්ස් (PickMe Events) සේවාවට පික්මී එක්ස්ප්ලෝර් (PickMe Explore) ලෙස නව මුහුණුවරක් ලබා දීම එළිදැක්වීමේ උත්සවයෙහි විශේෂාංගයක් විය. උත්සව පමණක් නොව, ශ්‍රී ලංකාව පුරා සංචාරක ස්ථාන, විවිධ අත්දැකීම් සහ ආකර්ෂණ එකම ඩිජිටල් යෙදුමක් ඔස්සේ ජනතාව වෙත සමීප කරන රට පුරා ක්‍රියාත්මක සේවාවක් ලෙස එය වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ද ආයතනය සඳහන් කළේය.
මේ වනවිට පික්මී එක්ස්ප්ලෝර් හරහා නෙළුම් කුළුණේ ප්‍රවේශපත් මිලදී ගැනීමටත්, QR කේතයක් භාවිතයෙන් ඇතුළු වීමටත් හැකි අතර, එතැනින් කොළඹ කනෙක්ට් අත්දැකීම ආරම්භ කළ හැකිය. නෙළුම් කුළුණේ නැරඹුම් මහල මෙන්ම දකුණු ආසියාවේ ප්‍රථම අන්තර්ක්‍රියාකාරී ඩිජිටල් කලා කෞතුකාගාරය වන පික්සල් බ්ලූම් (Pixel Bloom) සඳහා ද පික්මී යෙදුම හරහා ප්‍රවේශපත් ලබාගත හැකිය.
විදේශ සංචාරකයන් බොහෝ දෙනෙකු කොළඹට පැමිණ ඉතා සුළු කාලයක් තුළ වෙරළබඩ ප්‍රදේශ, කඳුකරය හෝ වනෝද්‍යාන වෙත පිටත්ව යන බැවින්, ඔවුන් දවසක් දෙකක් හෝ කොළඹ තුළ රඳවා ගැනීමෙන් නගරයේ ආර්ථිකයට විශාල වාසියක් අත්වනු ඇති බව ප්‍රධාන විධායක නිලධාරී මහතා සඳහන් කළේය. “වසර දහයකට වැඩි කාලයක් අපි ජන ප්‍රවාහනය මෙන්ම වෙළෙඳුන් සහ ඩිජිටල් සේවා සම්බන්ධ කළා. අපේ ඊළඟ පියවර වන්නේ ජනයා නව අත්දැකීම් සමඟ සම්බන්ධ කිරීමයි. ඒ ප්‍රයත්නයේ පළමු පියවර කළම්බු කනෙක්ට්,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉදිරියේදී කෞතුකාගාර, සංස්කෘතික ආයතන, විනෝදාස්වාද මධ්‍යස්ථාන, ආපනශාලා, සාප්පු සංකීර්ණ, රාත්‍රී විනෝදාස්වාද ස්ථාන සහ අනෙකුත් සංචාරක ආකර්ෂණ මෙම වැඩසටහනට එක් කිරීමට සැලසුම් කරන බව ද ආයතනය සඳහන් කළේය.


