ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ලෙස ශාන්ත බණ්ඩාර මහතා නැවතත් තේරී පත්වෙයි

Image 02 (LBN)

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ (SLCPI) 65 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී, එම මණ්ඩලයේ 2026/27 වාරය සඳහා වන නව සභාපතිවරයා ලෙස සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ශාන්ත බණ්ඩාර මහතා නැවත වරක් තේරී පත් විය.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, රජයේ නියෝජිතයන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්, හිටපු සභාපතිවරුන්, සාමාජික සමාගම් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් රැසක්ද මෙම අවස්ථාවට එක් වූහ.

ශාන්ත බණ්ඩාර මහතා SLCPI හි සභාපතිවරයා ලෙස නැවත පත්වීම තුළින්, එම මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට රැගෙන යාමට අවස්ථාව සැලසේ. මෙම වැඩපිළිවෙළ මඟින් එහි පාලනය, සදාචාරාත්මක ප්‍රමිතීන් මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින් සහ නියාමකයින් සමඟ පවතින සබඳතාව දැනටමත් ශක්තිමත් කර ගැනීමට හැකි වී තිබේ. තවද ඔහුගේ මෙම නව ධුර කාලය තුළ, 2025/26 වසරේ ලබාගත් ප්‍රගතිය ඔස්සේ ප්‍රායෝගික නියාමන ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ. එමඟින් මෙරට ජනතාවට ගුණාත්මක ඖෂධ, හිඟයකින් තොරව පහසුවෙන් සහ සහනදායී මිලකට ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.




SLCPI යනු ඖෂධ ආනයනකරුවන්, නිෂ්පාදකයින්, බෙදාහරින්නන් සහ අලෙවිකරුවන් 70කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන මෙරට ප්‍රධානතම ආයතනයයි. මෙරට පුද්ගලික ඖෂධ වෙළෙඳපොළෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් සපයනු ලබන්නේ මෙම සාමාජිකයින් හරහාය. මීට අමතරව, සමස්ත ඖෂධ කර්මාන්තය තුළ පුද්ගලයන් 80,000කට වැඩි පිරිසකට සෘජු රැකියා අවස්ථා ද, තවත් 400,000කට පමණ පිරිසකගේ ජීවනෝපාය සඳහා වක්‍රව දායකත්වය ලබා දෙයි.

පසුගිය වසර දෙස ආපසු හැරී බලන විට දේශීය මෙන්ම ගෝලීය වශයෙන් එල්ල වූ අභියෝග මධ්‍යයේ පවා ඖෂධ ක්ෂේත්‍රයේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු වූ බව බණ්ඩාර මහතා සඳහන් කළේය. විදේශ විනිමය අනුපාතවල උච්චාවචනයන්, ජාත්‍යන්තර නැව් මාර්ගවල ඇති වූ බාධා මෙන්ම ප්‍රවාහන, රක්ෂණ, ඉන්ධන සහ විදුලි ගාස්තු ඉහළ යාම මීට බෙහෙවින් බලපෑවේය. එමෙන්ම, ජනතාවගේ මුදල් පරිහරණය අවම වීම ද ඖෂධ සැපයුමට සහ ව්‍යාපාර ඉදිරියට කරගෙන යාමට දැඩි බලපෑමක් එල්ල කළේය.

මෙම අභියෝග මධ්‍යයේ වුවද, ඖෂධ මිල නියම කිරීම, ආනයන බලපත්‍ර නැවත අලුත් කිරීම සහ ඖෂධ අඛණ්ඩව සැපයීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට SLCPI පියවර ගත්තේය. එහිදී දත්ත සහ නිවැරදි සාක්ෂි මත පදනම් වූ නිර්දේශ ඉදිරිපත් කිරීමට ද SLCPI කටයුතු කළේය.

බණ්ඩාර මහතාගේ පළමු ධුර කාලය තුළ ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ දීර්ඝ සාකච්ඡා, නීතිමය සමාලෝචන සහ සාමාජිකයින්ගේ දායකත්වය ඔස්සේ නව ව්‍යවස්ථාවක් (Articles of Association) සම්මත කර ගැනීමට හැකි වීමයි. මෙම නව සංශෝධන මඟින් SLCPI හි ව්‍යවස්ථාපිත පදනම තවදුරටත් ශක්තිමත් වන අතර, එහි පාලන ව්‍යුහය මෙන්ම සාමාජිකයින්ගේ අයිතිවාසිකම් සහ වගකීම් ද වඩාත් පැහැදිලිව දක්වා ඇත.

මීට අමතරව, SLCPI විසින් නව ආචාරධර්ම පද්ධතියක් (Code of Conduct) නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. එමඟින් ඖෂධ ක්ෂේත්‍රයේ විනිවිදභාවය, අවංකභාවය, වගකීම්සහගත ව්‍යාපාරික සංස්කෘතියක් ඇති කිරීමට මෙන්ම, වගකීමෙන් යුතුව ඖෂධ පිළිබඳ තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා ද පොදු රාමුවක් සැකසෙනු ඇත. තවද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින්, නියාමන ආයතන සහ අනෙකුත් ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමේදී පිළිපැදිය යුතු ප්‍රමිතීන් මෙමඟින් පෙන්වා දෙන බැවින්, ක්ෂේත්‍රයේ වගවීම මෙන්ම මහජන විශ්වාසය තවදුරටත් තහවුරු වනු ඇත.

SLCPI හි සභාපති ලෙස නැවත වරක් තේරී පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ “පසුගිය වසරේදී SLCPI හි ව්‍යුහාත්මක පදනම ශක්තිමත් කිරීමට කටයුතු කළ අතර ඉදිරි වසරේදී එම සාකච්ඡාවලින් ප්‍රායෝගික ප්‍රතිඵල අත්කර ගැනීම බලාපොරොත්තු වනවා. ඒ අනුව, අපගේ ප්‍රධානතම අරමුණ වන්නේ රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ NMRA සමඟ එක්ව රෝගීන්ට අඛණ්ඩව ඖෂධ ලැබීම තහවුරු කරන අතරම, ඖෂධ සපයන ව්‍යාපාරවල පැවැත්ම ද රැකෙන පරිදි සමබර මිල ප්‍රතිපත්තියක් සැකසීමයි.” යනුවෙනි.

ඖෂධ සැපයුමට බාධා එල්ල වන විට එය ඍජුවම බලපානු ලබන්නේ ඖෂධ හිඟයකට මුහුණ දෙන රෝගීන්. එබැවින් අපගේ මැදිහත්වීම හුදෙක් ව්‍යාපාරික ලාභය උදෙසා කරන ලද්දක් නොවන අතර, සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ආරක්ෂිත සහ ගුණාත්මක ඖෂධ හිඟයකින් තොරව, විශ්වාසනීය ලෙස ලබා ගැනීමට ඇති අයිතිය සුරැකීම එහි සැබෑ අරමුණයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කලාපීය රටවල භාවිත කරනු ලබන සාර්ථක ක්‍රමවේද අධ්‍යයනය කරමින්, දේශීය ඖෂධ ක්ෂේත්‍රය වඩාත් කාර්යක්ෂම කිරීමට සහ ජාතික සෞඛ්‍ය අවශ්‍යතාවලට ගැලපෙන නියාමන ප්‍රතිසංස්කරණ ඇති කිරීමට SLCPI මැදිහත් වනු ඇත. එහිදී සුදුසු අධීක්ෂණ සහ ගුණාත්මක පාලනයක් පවත්වා ගැනීම ඔවුන්ගේ අරමුණයි.

එමෙන්ම, SLCPI සිය නව ආචාරධර්ම පද්ධතිය අඛණ්ඩව ක්‍රියාවට නංවමින් ඖෂධ ප්‍රවර්ධකයන්ගේ සංගමය ශක්තිමත් කිරීමට පියවර ගනු ඇත. වෛද්‍ය නියෝජිතයින් ඇතුළු ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ වෘත්තීයභාවය සහ දැනුම වර්ධනය කිරීමත්, කලාපීය සහයෝගීතාවය තුළින් සදාචාරාත්මක ව්‍යාපාරික සංස්කෘතියක් ඇති කිරීමත් මෙහි සැබෑ අපේක්ෂාව වේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අභියෝග කිසිවකුට තනිවම ජයගත නොහැකි බවත්, ඒ සඳහා රජය, නියාමන ආයතන, වෛද්‍යවරුන් සහ රෝගීන් අතර විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් සබඳතාවක් අවශ්‍ය බවත් බණ්ඩාර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඒ වෙනුවෙන්, SLCPI රෝගීන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින්, විනිවිදභාවයකින් සහ නිවැරදි දත්ත මත පදනම්ව විසඳුම් සපයන වගකීම්සහගත සහකරුවෙකු ලෙස සැමවිටම පෙනී සිටින බව ඔහු සහතික විය.

ශාන්ත බණ්ඩාර මහතාගේ නව නායකත්වය යටතේ, සියලු ශ්‍රී ලාංකිකයින්ට වඩාත් ශක්තිමත් සහ තිරසාර සෞඛ්‍ය පද්ධතියක් දායාද කිරීම උදෙසා, වෘත්තීය මෙන්ම සදාචාරාත්මක ඖෂධ ක්ෂේත්‍රයක් ගොඩනැගීමට SLCPI අඛණ්ඩව කැපවී ක්‍රියා කරනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව