‘බුද්ධානුවන්දනා’ බැති ගී සරණියෙන් DFCC බැංකුවේ පොසොන් සැමරුම ආලෝකමත් වේ

DFCC Poson image (LBN)

මුළු මහත් ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව අති උත්කර්ෂවත් අයුරින් උතුම් පොසොන් උත්සවය සමරන මොහොතක, DFCC බැංකුව මෙරට පූජනීයතම ආගමික මහෝත්සවයක් වන පොසොන් උත්සවය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘බුද්ධානුවන්දනා’ පොසොන් බැති ගී සරණිය මහත් ශ්‍රද්ධාවෙන් යුතුව පවත්වන ලදී. කොළඹ සහ මහනුවර නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණු මෙම ආගමික වැඩසටහන් මාලාව, බැංකු කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන්, සැදැහැවතුන් සහ මහජනතාව සැදැහැ සිතින් එකමුතු කිරීමට සමත්විය.

මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වා දීම සිහිපත් කරමින් සමරනු ලබන පොසොන් උත්සවය යනු, මෛත්‍රිය, ප්‍රඥාව, පරිත්‍යාගශීලිත්වය සහ සහජීවනය වැනි උතුම් සාරධර්ම පිළිබඳව ගැඹුරින් මෙනෙහි කිරීමට ලැබෙන උදාර අවස්ථාවකි. වාර්ෂිකව පවත්වන මෙම ආගමික වතාවත් මඟින්, පොසොන් උත්සවයේ ඇති ආගමික වැදගත්කමට ගරු කරනවා පමණක් නොව, ශ්‍රී ලාංකික අනන්‍යතාවය සහ පරම්පරා ගණනාවක් තිස්සේ අපව හැඩගැස්වූ සංස්කෘතික උරුමයන් රැකගැනීමට ද DFCC බැංකුව අඛණ්ඩව කැපවී ක්‍රියා කරයි.




කොළඹ කේන්ද්‍රව පැවැත්වූ පොසොන් සැමරුම DFCC බැංකුවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එහිදී ආයතනික කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සැදැහැ සිතින් යුතුව බැති ගී ගායනා කරමින් ආගමික වතාවත්වල නිරත වූහ. මෙම බැති ගී සරණිය, එදිනෙදා ජීවිතයේ කාර්යබහුලත්වයෙන් මිදී, බුදුරජාණන් වහන්සේගේ සදාකාලික දහම් කරුණු සහ පුද්ගල ජීවිත මෙන්ම සමාජය යහමඟට යොමු කරන උතුම් සාරධර්ම පිළිබඳව ආවර්ජනය කිරීමට සන්සුන් ආධ්‍යාත්මික වටපිටාවක් නිර්මාණය කර දුන්නේය.

මෙම ආගමික වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරමින්, මෙරට අතිපූජනීය පූජා භූමියක් වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය අභියස විශේෂ ‘බුද්ධානුවන්දනා’ පොසොන් බැති ගී වැඩසටහනක් ද DFCC බැංකුව විසින් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන සඳහා සැදැහැවතුන්, දෙස් විදෙස් සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක් වූ අතර, ඔවුන් බැංකු කාර්ය මණ්ඩලය සමඟ එක්ව ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් යුතුව ආගමික වතාවත්වල නිරත වීම තුළින් පොසොන් සමයේ ඇති අධ්‍යාත්මික වැදගත්කම සහ සමඟිය මැනවින් විදහා දැක්වුණු පින්බර සැඳෑවක් නිර්මාණය විය.

පොසොන් සමයට සමගාමීව පැවත එන ඉපැරණි දානමය චාරිත්‍ර වාරිත්‍රවලට ගරු කරමින්, මහනුවරට පැමිණි සැදැහැවතුන් සහ බැතිමතුන් වෙනුවෙන් ප්‍රණීත ආහාර පානවලින් සපිරි දන්සලක් සංවිධානය කිරීමට ද බැංකුව කටයුතු කළේය. බෞද්ධ දර්ශනයේ ප්‍රමුඛතම ශීලයක් වන දානමය පුණ්‍යකර්මයේ අර්ථය මැනවින් පැහැදිලි කළ මෙම සත්කාර්යය, ත්‍යාගශීලිත්වය, කරුණාව සහ පරාර්ථකාමී සේවය වැනි බෞද්ධ ප්‍රතිපත්තීන්ගේ සැබෑ අරුත සැමට යළිත් සිහිපත් කර දුන්හ.

සෘජුවම මෙම ආගමික වැඩසටහන් සමඟ එක්වීමට නොහැකි වූ සැදැහැවතුන් වෙනුවෙන් කොළඹ සහ මහනුවර පැවැත්වුණු බැති ගී ප්‍රසංග ද්විත්වයම DFCC බැංකුවේ නිල සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබුණි. මේ හේතුවෙන් දිවයින පුරා සිටින ගනුදෙනුකරුවන්ට, කාර්ය මණ්ඩල සාමාජිකයින්ට මෙන්ම අනෙකුත් සැදැහැවතුන්ට ද මෙම උතුම් පුණ්‍යකර්මයට නිවසේ සිටම සම්බන්ධ වීමේ අවස්ථාව හිමි විය. මීට අමතරව, මහනුවර වැඩසටහන ශ්‍රී දළදා මාළිගාවේ නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද සජීවීව විකාශය කෙරුණු බැවින් වඩාත් පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත මෙම දහම් පණිවිඩය සමීප කිරීමට හැකි විය.

DFCC බැංකුවේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා, බැති ගී සරණිය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, “පොසොන් උත්සවය අපට ආරාධනා කරන්නේ පුද්ගලයන් වශයෙන් මෙන්ම සමස්ත සමාජයක් වශයෙන් අපගේ ජීවිත හැඩගස්වන උතුම් සාරධර්ම දෙස යළි හැරී බැලීමටයි. මෛත්‍රිය, ප්‍රඥාව, පරිත්‍යාගශීලිත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය වැනි උදාර ගුණාංග මීට සියවස් ගණනාවකට පෙර මෙන්ම අදටත් එකසේ වලංගු වෙනවා. මෙම ‘බුද්ධානුවන්දනා’ පොසොන් බැති ගී සරණිය හරහා අපගේ සේවකයින්, ගනුදෙනුකරුවන් සහ සමස්ත ප්‍රජාව ආධ්‍යාත්මික වශයෙන් එක්සේසත් කිරීමට ලැබීම අපට විශාල ගෞරවයක්. එමෙන්ම, අපේ දේශය නිරන්තරයෙන් දිරිමත් කරනු ලබන ශ්‍රී ලාංකීය ආධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන්ට උපහාර දැක්වීමට ලැබීමත් අප ලැබූ භාග්‍යයක්.” යනුවෙනි.

DFCC බැංකුවට අනුව, පොසොන් උත්සවය සැමරීම යනු හුදෙක් සම්ප්‍රදායන් රැක ගැනීමෙන් ඔබ්බට ගිය, මිනිසුන් ආධ්‍යාත්මික සන්සුන්භාවය, කෘතවේදීත්වය සහ පොදු අරමුණු වෙනුවෙන් එකමුතු කරන උදාර අවස්ථාවක් නිර්මාණය කිරීමකි. කොළඹ සහ මහනුවර ඓතිහාසික පුදබිම් පුරා ගලාගිය සුමිහිරි බැති ගී නාදය, පොසොන් සමයේ අප සමරන උතුම් ආගමික වටිනාකම් මෙම පුණ්‍ය කාලයට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට ද ව්‍යාප්ත වන බව අපට සිහිපත් කර දෙයි. මෙමඟින් සමස්ත සමාජය අතර පවතින බැඳීම් තවදුරටත් ශක්තිමත් වන අතර අනාගත පරම්පරාවන් උදෙසා යහපත් බලාපොරොත්තු ඇති කරලීමට මඟපෙන්වයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව