
රට පුරා පිහිටි උපපොළවල් 16ක බැටරි බලශක්ති ගබඩා පද්ධති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියි. රට තුල මෙතෙක් ක්‍රියාත්මක වන විශාලතම බලශක්ති ගබඩා කිරීමේ ව්‍යාපෘතිය වන මේ තුලින් ජාතික විදුලි පද්ධතිය ශක්තිමත් වන අතරම වඩාත් පිරිසිදු හා සුරක්ෂිත බලශක්ති පද්ධතියක් බිහිකිරීමටද හැකියාව උදා වනු ඇත.
සෑම බැටරි පද්ධතියක්ම දහවල් කාලයේදී මෙගාවොට් පැය 40ක විදුලි බලයක් ගබඩා කර ගැනීමටත්, සවස් කාලයේ විදුලි ඉල්ලුම ඉහළ යන වේලාවන්හිදී ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 10ක්දක්වා විදුලිය මුදා හැරීමටත් මේ යටතේ සැලසුම් කර ඇත. දහවල් කාලයේ නිපදවන සූර්ය සහ සුළං බලය මෙලෙස සවස් කාලය සඳහා ඉතිරි කර ගැනීම මගින් පුනර්ජනනීය බලශක්තිය උපරිම ලෙස භාවිත කළ හැකි වන අතර විදුලි ඉල්ලුම වැඩිම වේලාවන්හිදී ඛනිජ තෙල් හා ගල්අඟුරු වැනි සාම්ප්‍රදායික ඉන්ධන මත යැපීම අඩු කිරීමටද මෙයින් හැකියාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බැවින්, විදුලිය ගබඩා කර තැබීම විදුලි පද්ධතියට ඉතා වැදගත් වේ. මෙම වැඩපිළිවෙළ යටතේ උපපොළවල් 13ක නවීන බැටරි තාක්ෂණයක් (Grid-forming technology) යොදා ගැනීමට නියමිතය. එමගින් විදුලි පද්ධතියේ සංඛ්‍යාතය සහ වෝල්ටීයතාවය ක්‍රියාකාරීව පාලනය කළ හැකිය. ජාතික විදුලි පද්ධතියට වැඩි වශයෙන් සූර්ය සහ සුළං බලය එකතු කිරීමේදී, පද්ධතිය බිඳ වැටීමකින් තොරව ස්ථාවරව පවත්වා ගැනීමටද මේ මඟින් හැකි වේ.
2030 වසර වන විට 70%ක් පුනර්ජනනීය බලශක්තිය ලබාගැනීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කයට සෘජුවම දායක වන මෙම වැඩපිළිවෙළ විදුලි පද්ධතියේ නම්‍යශීලීභාවය ඉහළ නංවන අතරම පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරවලට වඩාත් විශ්වාසවන්ත මෙන්ම සහනදායී මිලකට විදුලිය ලබාදීමටද දායක වනු ඇත. එසේම පිටරටින් ඉන්ධන ආනයනය කිරීම අඩු කිරීම මගින් රටේ බලශක්ති ආරක්ෂාව ශක්තිමත් කිරීමටද මේ තුලින් අරමුණු කොට ගෙන ඇත.
2025 ජූලි මාසයේදී පවත්වනු ලැබූ ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා Windforce PLC සහ Vidullanka PLC සමාගම් විසින් මෙම ව්‍යාපෘතිය ජයග්‍රහණය කරන ලදී. පුළුල් ඇගයීමකින් පසුව ඔවුන්ගේ තාක්ෂණික සැපයුම්කරු ලෙස Huawei සමාගම තෝරා ගන්නා ලදී. රජයේ ජාතික බලශක්ති වැඩපිළිවෙළේ කොටසක් ලෙස, මෙම හවුල්කාර සමාගම් විසින් ව්‍යාපෘතියට අයත් ස්ථාන 13ක Grid-forming බැටරි තාක්ෂණය ස්ථාපනය කරනු ඇත.
මෙතරම් විශාල මට්ටමක බලශක්ති ගබඩා කිරීමේ පද්ධතියක් නිපදවීම සඳහා ව්‍යාපෘති සංවර්ධකයන් සහ තාක්ෂණික සැපයුම්කරුවන් අතර ශක්තිමත් සහයෝගීතාවයක් අවශ්‍ය වේ. Windforce, Vidullanka PLC සහ Huawei සමාගම් අතර ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා දේශීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ ලොව දියුණුතම බැටරි ගබඩා තාක්ෂණය එකට එක්වනු ඇත.
මෙම ව්‍යාපෘතියේ බහුතර කොටසක ප්‍රධාන තාක්ෂණික සැපයුම්කරු ලෙස Huawei සමාගම ඔවුන්ගේ බලශක්ති ගබඩා විසඳුම් සහ තාක්ෂණික දැනුම මේ සඳහා ලබා දෙන අතර පිලිපීනය සහ කාම්බෝජය ඇතුළු ආසියාව පුරා ක්‍රියාත්මක කළ මෙවැනිම බලශක්ති ගබඩා කිරීමේ සහ විදුලි පද්ධති නවීකරණය කිරීමේ ව්‍යාපෘතිවලින් ඔවුන් අත්දැකීම් ලබා ඇත.
ශ්‍රී ලංකාව සිය පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමේ අරමුණින් ඉදිරියට යන විට මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘති මගින් වඩාත් ශක්තිමත්, කාර්යක්ෂම සහ තිරසාර විදුලි පද්ධතියක් ගොඩනැගීම සඳහා බැටරි බලශක්ති ගබඩා කිරීමේ ඇති වැදගත්කම මැනවින් පෙන්වා දෙයි. පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සහ නවීන තාක්ෂණය එකට එකතු කරන මෙම වැඩපිළිවෙළ, රටට පිරිසිදු, සුරක්ෂිත සහ අනාගතයට ගැළපෙන බලශක්ති පද්ධතියක් නිර්මාණය කිරීමේ වැදගත් පියවරක් ලෙසද රටේ බලශක්ති යටිතල පහසුකම් සංවර්ධනයේ වැදගත් පියවරක් වේ.


