SLT-MOBITEL 2026 පළමු කාර්තුවේදී ආදායමේ සහ ලාභදායීත්වයේ කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කරයි

Image - Sinhala Release
  • අන්තර්ජාල සේවාවන් හේතුවෙන් සමූහයේ ආදායම පෙර වසරට සාපේක්ෂව 10.6% කින් ඉහළට
  • සමූහයේ මෙහෙයුම් ලාභය 39.1% කින්, බදු පෙර ලාභය 55.4% කින් සහ ශුද්ධ ලාභය 53.3% කින් වර්ධනය වෙයි.
  • SLT PLC සමාගමේ ආදායම 10.6% කින් වර්ධනය වී රු. බිලියන 19.7 ක් ලෙස වාර්තා වෙයි. මෙහෙයුම් ලාභය 36% කින් සහ ශුද්ධ ලාභය 53.3% කින් ඉහළට.
  • Mobitel සමාගමේ ආදායම 9.9% කින්, මෙහෙයුම් ලාභය 54.7% කින් සහ ශුද්ධ ලාභය 63.7% කින් වර්ධනය වෙයි.

SLT සමූහය මෙම මූල්‍ය වර්ෂයට ශක්තිමත් ආරම්භයක් ලබාගනිමින්, 2025 පළමු කාර්තුවට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේදී ආදායමේ කැපීපෙනෙන වර්ධනයක් සහ කැපීපෙනෙන ලාභදායීත්වයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. මෙහෙයුම් ලාභය සහ ශුද්ධ ඉපැයුම් සැලකිය යුතු ලෙස ඉහළ යාම සහ බ්‍රෝඩ්බෑන්ඩ් (අන්තර්ජාල) සේවාවන් සඳහා අඛණ්ඩ ඉල්ලුමක් පැවතීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. සමූහයේ මෙම ප්‍රතිඵල තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන අතර, එය වසරේ ඉදිරි කාලය සඳහා සැලකිය යුතු උත්තේජනයක් වනු ඇත.



සමූහයේ කාර්යසාධනය

2026 වසරට ශක්තිමත් ආරම්භයක් ලබාගනිමින්, රු. බිලියන 30.8 ක සමුච්චිත ආදායමක් වාර්තා කරගැනීමට සමූහය සමත් විය. මෙය 2025 පළමු කාර්තුවේදී වාර්තා වූ රු. බිලියන 27.9 ට සාපේක්ෂව 10.6% ක වර්ධනයකි. බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා පැවති ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් සමූහයේ දළ ලාභය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 14.1% කින් වර්ධනය වී රු. බිලියන 14.6 ක් ලෙස වාර්තා විය.

මෙහෙයුම් ලාභය පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 3.7 ට සාපේක්ෂව 39.1% කින් ඉහළ ගොස් රු. බිලියන 5.1 ක් ලෙස වාර්තා වී තිබේ. බදු පෙර ලාභය 2025 පළමු කාර්තුවේදී වාර්තා වූ රු. බිලියන 2.7 ට සාපේක්ෂව 55.4% කින් ඉහළ ගොස් රු. බිලියන 4.2 ක් ලෙස වාර්තා වී ඇත. බදු පසු ලාභය රු. බිලියන 3.1 ක් වූ අතර, එය පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 2 ට සාපේක්ෂව 53.3% ක වර්ධනයකි.

විදුලි ගාස්තු හා ඉන්ධන මිලගණන් ඉහළ යාම සහ අඛණ්ඩව පැවති විනිමය පීඩනයන් හේතුවෙන් සෘජු පිරිවැය පෙර වසරට සාපේක්ෂව 7.6% කින් ඉහළ ගිය නමුත් මෙම පිරිවැය ඉහළ යාමට වඩා සැලකිය යුතු මට්ටමකින් ආදායම වර්ධනය වී තිබේ. මෙම කාලපරිඡේදය තුළ මූල්‍ය පිරිවැය පහත වැටුණු අතර, විදේශ විනිමය අගයන්හි සිදු වූ වෙනස්කම් හේතුවෙන් 2025 පළමු කාර්තුවේ වාර්තා වූ විදේශ විනිමය අලාභයන්ට සාපේක්ෂව ශුද්ධ ලාභයක් හිමි වීම ලාභදායීත්වයට අමතර රුකුලක් විය. ලාභදායීත්වයෙහි සිදු වූ කැපීපෙනෙන වර්ධනයට සමගාමීව ආදායම් බදු පිරිවැය 61.3% කින් ඉහළ ගියේය.

“පළමු කාර්තුව තුළ අප වාර්තා කරගෙන ඇති මේ ශක්තිමත් කාර්යසාධනය මඟින්, අභියෝග ජයගැනීම සඳහා SLT සමූහය සතු හැකියාව සහ අපගේ ක්‍රමෝපායන්හි සාර්ථකත්වය මැනැවින් පිළිබිඹු වනවා. ආදායමේ කැපීපෙනෙන වර්ධනයක් සමඟ කැපීපෙනෙන ලාභදායීත්වයක් වාර්තා වීම මඟින් පෙනී යන්නේ, තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් වසරේ ඉදිරි කාලසීමාව සඳහා අප ඉතා හොඳ ආරම්භයක් ලබාගෙන ඇති බවයි. ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වශයෙන්, නවෝත්පාදනය දිරිගැන්වීම, සම්බන්ධතා පහසුකම් ශක්තිමත් කිරීම සහ පාරිභෝගිකයන්, කොටස් හිමිකරුවන් සහ රට වෙනුවෙන් තිරසාර වටිනාකම් නිර්මාණය කිරීම සඳහා අප කැප වී සිටිනවා.” SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා පැවසීය.

SLT PLC ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි

සමාගම් මට්ටමින් ශක්තිමත් වර්ධනයක් වාර්තා කිරීමට SLT PLC සමත් වී ඇත. 2025 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. බිලියන 17.8 ට සාපේක්ෂව එහි ආදායම රු. බිලියන 19.7 දක්වා 10.6% කින් වර්ධනය වී තිබේ. දළ ලාභය පෙර වසරට සාපේක්ෂව 13.4% කින් වර්ධනය වී රු. බිලියන 9.9 ක් ලෙස වාර්තා විය.

මෙහෙයුම් ලාභය 2025 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. බිලියන 2.5 ට සාපේක්ෂව රු. බිලියන 3.5 දක්වා 36% කින් වර්ධනය වී තිබේ. බදු පෙර ලාභය රු. බිලියන 2.9 ක් වූ අතර, එය 2025 පළමු කාර්තුවේදී වාර්තා වූ රු. බිලියන 1.9 ට සාපේක්ෂව 51% ක වර්ධනයකි. මෙම කාර්තුවේ බදු පසු ලාභය, පසුගිය වසරේ වාර්තා වූ රු. බිලියන 1.3 ට සාපේක්ෂව රු. බිලියන 2.1 දක්වා 53.3% කින් ඉහළ ගොස් ඇත. පෙර සඳහන් කළ ගාස්තු සහ ඉන්ධන වියදම් සම්බන්ධ පීඩනයන් හේතුවෙන් සෘජු පිරිවැය 7.9% කින් ඉහළ ගිය නමුත්, ආදායම සහ කාර්යක්ෂමතාව වර්ධනය වීම හේතුවෙන් මෙම පීඩයන් මඟින් එල්ල වූ බලපෑම අවම කරගැනීමට හැකි වී තිබේ.

ආදයම් වර්ධනය සහ පිරිවැය කළමනාකරණය අඛණ්ඩව සිදුකරමින් ශක්තිමත් ලාභදායීත්වයක් සමඟ යහපත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට SLT PLC සමාගම සතු හැකියාව මෙම කාර්යසාධනය මඟින් පැහැදිලි වේ.

“මෙම කාර්තුවේ ප්‍රතිඵල මඟින් පෙනී යන්නේ, අඛණ්ඩ වර්ධනයක් අත්කර ගැනීමට, ඩිජිටල් සේවාවල් පුළුල් කිරීමට සහ AI හා 5G තාක්ෂණයන්හි නවතම ප්‍රවණතා මෙරටට හඳුන්වා දීමට SLT-MOBITEL ඉතාමත් හොඳින් ස්ථානගත වී සිටින බවයි. ඒ ඔස්සේ දේශයේ ප්‍රගතිය බලගන්වන විශ්වාසනීය තාක්ෂණික හවුල්කරු ලෙස අප දැනට පණපොවන භූමිකාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට අපට හැකි වේවි. එමෙන්ම Mobitel පාරිභෝගික පදනම පුළුල් වීම සහ බ්‍රෝඩ්බෑන්ඩ් සඳහා ඇති ඉල්ලුම අඛණ්ඩව ඉහළ යාම, අපගේ පාරිභෝගික-කේන්ද්‍රීය ප්‍රවේශය සහ ඩිජිටල් පරිවර්තන සැලසුම් සාර්ථක වී ඇති බවට මනා සාක්ෂියක්. ආදායම ඉහළ යාම සහ බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් වර්ධනය වීමට සමගාමීව පිරිවැය කළමනාකරණය කිරීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් අප දත්ත මූලික කරගත් අනාගතයක් තුළ මතු වන අවස්ථා ග්‍රහණය කරගනිමින් සිටිනවා.” SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් මහතා පැවසීය.

Mobitel සමාගමෙන් ශක්තිමත් කාර්යසාධනයක්

පෙර වසරට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේදී සිය ආදායම 9.9% කින් හෙවත් රු. බිලියන 1.2 කින් වර්ධනය කරගැනීමට Mobitel සමත් වී තිබේ. බ්‍රෝඩ්බෑන්ඩ් ආදායම 28% කින් වර්ධනය වීම මෙන්ම අගය එකතු කළ සේවාවන්, වෙනත් විසඳුම් සහ රෝමින් සේවාවන් මඟින් ලැබුණු ආදායම මීට බලපා ඇත. කෙසේ වෙතත් දේශීය හා ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ආදායම පහළ ගොස් තිබේ.

කාර්තුව තුළ නව පාරිභෝගිකයන් සම්බන්ධ වීමේ ප්‍රවණතාවද යහපත් මට්ටමක පැවතිණි. පසුගිය වසරේදී නිරීක්ෂණය වූ පරිදිම මෙවරත් පාරිභෝගිකයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, එය නව පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම සහ ඔවුන් රඳවා ගැනීම සඳහා Mobitel අනුගමනය කරන ක්‍රමෝපායන් සාර්ථක වී ඇති බවට මනා සාක්ෂියකි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව