Mark and Comm සමාගම 15වැනි ACEF ගෝලීය පාරිභෝගික සබඳතා සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකක් දිනයි

1- Grand Prix Award Gold PR AOY Mark and Comm (LBN)

– වසරේ විශිෂ්ටතම මහජන සබඳතා ආයතනය සහ වසරේ විශිෂ්ටතම මහජන සබඳතා වෘත්තිකයා සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නිවේදන ආයතනයක්වන Mark and Comm සමාගම, පසුගිය අප්‍රේල් 30 වැනිදා මුම්බායි නුවරදී පැවැත්වුණු 15වැනි ACEF ගෝලීය පාරිභෝගික සබඳතා සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. එහිදී වසරේ විශිෂ්ටතම මහජන සබඳතා ආයතනයට හිමි රන් සම්මානය සමාගමට හිමිවූ අතර, වසරේ විශිෂ්ටතම මහජන සබඳතා වෘත්තීකයාට හිමි රන් සම්මානය, Mark and Comm සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතාට හිමිවිය.

පහළොස්වැනි වරට පැවැත්වුණු ACEF ගෝලීය පාරිභෝගික සබඳතා සම්මාන උළෙල මේ වනවිට පාරිභෝගික සබඳතා, සන්නාම ක්‍රමෝපාය සැලසුම්කරණය සහ සන්නිවේදන අංශවල ආසියානු විශිෂ්ටයින්ගේ ඇගයුම් බිමක් බවට පත්ව තිබේ. ඊට ඉන්දියාව, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක ආයතන සහ සන්නාම එක්ව සිටී. එවන් තරගකාරී ජාත්‍යන්තර වේදිකාවක රන් සම්මාන දෙකක් දිනාගැනීම හරහා ශ්‍රී ලංකාවේ මහජන සබඳතා ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට ද Mark and Comm සමාගමට හැකිව තිබේ.




Mark and Comm සමාගම සිය 15වැනි සංවත්සරය සමරන මොහොතේ මෙම සම්මාන බුහුමන් දිනාගැනීම ද විශේෂත්වයකි. කුඩා ප්‍රමාණයේ සන්නිවේදන උපදේශන ආයතනයක් ලෙස ආරම්භ වූ Mark and Comm සමාගම වර්තමානය වනවිට රක්ෂණ, ගමනාගමන, මූල්‍ය සේවා, තාක්ෂණ, සංචාරක, බලශක්ති, කෘෂිකර්මාන්ත, සුවසේවා, අධ්‍යාපන සහ තිරසර වැනි අංශ ගණනාවක ආයතන සහ සන්නාම වෙනුවෙන් සන්නිවේදන සේවා සපයන, ජාත්‍යන්තර මට්ටමේ මහජන සබඳතා ආයතනයක් දක්වා වර්ධනය වී තිබේ.

″ගෙවුණු වසර ගණනාවක මුළුල්ලේ අපගේ කාර්යමණ්ඩලය පිරිනමන විශිෂ්ට සේවාව මෙම සම්මානවලින් පිළිබිඹු වෙනවා. අප සමාගම ආරම්භකර වසර 15ක් ගතවන මේ මොහොතේ ව්‍යාපාර මෙන්ම අප ගනුදෙනුකරන පුද්ගලයින් වෙනුවෙන් ද සැපයිය යුතු සන්නිවේදන සේවාව පිළිබඳ ඉහළ විශ්වාසයක් අප සතුයි″, යනුවෙන් Mark and Comm සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා පැවසුවේය.

මීට මාසයකට පෙර Mark and Comm සමාගම, Campaign Asia-Pacific’s Agency of the Year සම්මාන උළෙලේදී ද, Rest of South Asia PR Agency of the Year සම්මානය දිනාගත්තේය.

Mark and Comm සමාගමේ ජාත්‍යන්තර බලපෑම හුදෙක් සම්මාන දිනාගැනීමෙන් ඔබ්බට ගමන්කර තිබේ. රටවල් 100කට වැඩි ප්‍රමාණයක පිහිටි ස්වාධීන මහජන සබඳතා ආයතන 80කට වඩා වැඩි  සංඛ්‍යාවකින් සැදුම්ලත් GlobalCom PR Networkහි සාමාජිකයෙකු වන සමාගම, ආසියානු පැසිෆික් මහජන සබඳතා සහ සන්නිවේදන සංගමයේ ආයතනික සාමාජිකත්වය ද උසුළයි. තන්සිල් තාජුඩීන් මහතා PRCA APAC අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ද, CIPR ජාත්‍යන්තර කමිටු සාමාජිකත්වය ද දරන අතර Campaign Asia-Pacific’s 40 Under 40 සම්මානයට ද නම් කෙරුණි. වරලත් මහජන සබඳතා වෘත්තිකයෙකුවන ඔහු මහජන සබඳතා පිළිබඳ වරලත් ආයතනයේ මෙන්ම අලෙවිකරණ වරලත් ආයතනයේ ද, කළමනාකරණ වරලත් ආයතනයේ ද සාමාජිකත්වය දරයි.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Hootsuite සහ Talkwalker සේවාවන්හි එකම නිල සහකරු ද වන සමාගම ව්‍යාපාර වෙනුවෙන් සමාජ මාධ්‍ය කළමනාකරණයට පිවිස තිබේ.

″වසර 15ක මේ ගමන්මඟ තවත් එක් සන්ධිස්ථානයක් පමණක් නොවේ. දිගුකාලීනව ක්‍රමෝපායික සහ හරයාත්මක සන්නිවේදනයේ ප්‍රතිඵලයක්. අප කෙරෙහි විශ්වාසය තැබූ සෑම සේවාදායකයෙක්ම සහ අප සමඟ එකට කටයුතු කළ සෑම පුද්ගලයෙකුම මෙම සම්මානවල කොටස්කරුවන්″, යනුවෙන් තාජුඩීන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව