දශක තුනක විශිෂ්ට සේවයකින් පසු කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා විශ්‍රාම දිවියට

Mr S. Prabagar (LBN)

වසර 30 කට අධික සේවා කාලයක් පුරාවට කැපවූ කීර්තිමත් වෘත්තීය ජීවිතයක් අවසන් කරමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා 2026 අප්‍රේල් 26 වන දින සිට විශ්‍රාම ගන්නා බව බැංකුව නිවේදනය කර ඇත.

විවිධාංගීකරණය වූ පුළුල් අත්දැකීම් සහිත පළපුරුදු බැංකු වෘත්තිකයෙකු වන ප්‍රභාගර් මහතා 2022 මැයි මාසයේ දී ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සහ විධායක අධ්‍යක්ෂක තනතුරට පත්වීමත් සමඟ බැංකුව විසින් දියත් කළ ප්‍රධාන මුලපිරීම් කිහිපයක ම පුරෝගාමියා ලෙස කටයුතු කලේය. ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් බැංකුවේ තිරසාර වර්ධනය ඉහළ නැංවීම, මූලික මෙහෙයුම් ශක්තිමත් කිරීම, සහ කාර්ය සාධනය මෙහෙයවීමේදී ඔහුගෙන් වැදගත් කාර්යභාරයක් ඉටු වී ඇත.



ප්‍රභාගර් මහතාගේ මුල්ම නායකත්ව භූමිකාව වූයේ කොළඹ පිහිටි බැංකුවේ ප්‍රධාන ශාඛාවල ශාඛා කළමනාකරු ලෙස සේවය කිරීමයි. එහිදී කාර්යසාධනය සාර්ථකව ප්‍රතිනිර්මාණය කිරීම හා මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවෙන් ඔහුගේ දක්ෂතාවය ඇගයීමට ලක්විය. බංග්ලාදේශයේ පිහිටි කොමර්ෂල් බැංකු ශාඛා ජාලයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරියා සහ එරට දේශීය කළමනාකරු ලෙස සේවය කළ කාලය තුළදී ඔහුගේ ජාත්‍යන්තර බැංකු පරිපාලන දක්ෂතා නිරාවරණය විය. ඔහුගේ මගපෙන්වීම යටතේ, ශාඛා දෙකකින් සහ බැංකු කුටි දෙකකින් සමන්විත බංග්ලාදේශයේ පිහිටි කොමර්ෂල් බැංකු ජාලය බැංකු ශාඛා 19 ක් දක්වා ව්‍යාප්ත විය. මේ වන විට බංග්ලාදේශ බැංකු මෙහෙයුම් හරහා කොමර්ෂල් බැංකුවේ සමස්ත ලාභදායීතාවයට ආසන්න වශයෙන් 15% ක දායකත්වයක් ලබා දෙමින්, එරට විදේශීය බැංකු 10 අතුරින් තුන්වන වඩාත් ම ලාභදායී බැංකුව ලෙස ඉදිරියට ඒමට බැංකුවට හැකි වූ අතර, එරට ප්‍රමුඛතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය වන CRISL වෙතින් AAA ණය ශ්‍රේණිය ද ලබා ගන්නා ලදී.

විශ්‍රාම දිවියට පිවිසෙන විට එතුමා කොමර්ෂල් බෑන්ක් ඔෆ් මෝල්දීවුස් පුද්ගලික සමාගමේ ස්වාධීන නොවන හා විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙසත්, ලංකා මූල්‍ය සේවා කාර්යාංශ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් සේවය කලේ ය. ඔහු ඊට පෙර CBC මියන්මාර ක්ෂුද්‍ර මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු සහ ඔරිසිස් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද සේවය කළේය. ඔහු විසින් ශ්‍රී ලංකාවේ Blockchain තාක්ෂණය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරන ලද මාර්ගෝපදේශ කමිටුවේ සභාපතීත්වය ද දැරීය.

කොමර්ෂල් බැංකුවේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් වලදී ප්‍රභාගර් මහතා තීරණාත්මක කාර්යයන් කිහිපයකට ම නායකත්වය දී ඇත. බැංකුවේ අභ්‍යන්තර විගණන ප්‍රධානියා සහ සහකාර සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඔහු පාලන සහ පරිපාලන රාමු ශක්තිමත් කළ අතර, මෙහෙයුම් භාර සහකාර සාමාන්‍යාධිකාරීවරයාගේ භූමිකාව තුළදී ඔහු ප්‍රධාන මෙහෙයුම් මුලපිරීම්වලට නායකත්වය දුන්නේ ය. ප්‍රධාන මෙහෙයුම් නිළධාරී තනතුරට පත්වීමට පෙර ඔහු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආයතනික බැංකුකරණය මෙහෙයවීය.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව