
බෙරෙන්ඩිනා මයික්‍රො ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම (Berendina Micro Investments Company Limited) සහ බෙරෙන්ඩිනා ඩිවලොප්මන්ට් සර්විසස් සමාගම (Berendina Development Services (Guarantee) Limited) පසුගියදා පැවැති 2025 CA Sri Lanka TAGS සම්මාන උළෙලේදී ලෝකඩ සම්මාන දෙකක් දිනාගැනීමට සමත්විය.
එකිනෙකට වෙනස් කාණ්ඩ යටතේ මෙම සම්මාන පිරිනැමුණ ද, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්කරණය සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් බෙරෙන්ඩිනා සමූහයේ දායකත්වය ඉන් පිළිබිඹු විය. මෙරට ප්‍රථම බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගමවන බෙරෙන්ඩිනා මයික්‍රො ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම, මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් වූ ලෝකඩ සම්මානය දිනාගත් අතර, නියාමන අනුකූලතා, වගවීම සහ මූල්‍ය කළමනාකරණයේ වගකීම් සහගතබව ඒ හරහා පිළිබිඹු වේ. මේ අතර බෙරෙන්ඩිනා ඩිවලොප්මන්ට් සර්විසස් සමාගම රාජ්‍ය නොවන සංවිධාන කාණ්ඩය යටතේ විනිවිදභාවයෙන් යුතු වාර්තාකරණය සහ තිරසර ප්‍රජා සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් සම්මානයට පාත්‍රවිය.
බෙරෙන්ඩිනා මයික්‍රො ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම දිවයින පුරා ශාඛා 35ක් හරහා ලක්ෂයකට වැඩි අඩු ආදායම්ලාභී ගනුදෙනුකරුවන් පිරිසකට සේවා සලසල අතර, රුපියල් බිලියන 6.8කට වැඩි ණය ගොනුවක් පවත්වාගෙන යයි. සමාගමේ වත්කම් ගොනුවේ අගය රුපියල් බිලියන 7.2 ඉක්මවයි. බෙරෙන්ඩිනා ඩිවලොප්මන්ට් සර්විසස් සමාගම දිස්ත්‍රික්ක 7ක් පුරා රුපියල් බිලියන 2 ඉක්මවන වත්කම් ගොනුවක් සහ 99%ක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිශතයක් ද සමඟින් 25,000කට වැඩි අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් වෙනුවෙන් ජීවනෝපාය සංවර්ධනය, ජල සහ සනීපාරක්ෂක පහසුකම්, තරුණ සංවර්ධනය හා අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
″සෑමවිටම අපගේ ව්‍යාපාරකරණයේ හරය බවට පත්වූයේ පාරදෘශ්‍යබව සහ වගවීමයි. එය මෙම සම්මාන තුළින් හොඳින් සනාථ වෙනවා. විශේෂයෙන්ම මහජනතාව සමඟ එක්ව කටයුතු කිරීමේදී සහ විශේෂයෙන්ම ඔවුන් වෙනුවෙන් සම්පත් කළමනාකරණය කිරීමේදී මූල්‍ය තොරතුරු වාර්තාකිරීමේ විශිෂ්ටත්වයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍යයි. එය හුදෙක් සම්මාන ලබාගැනීමේ අරමුණින් සිදුකරන කාර්යයක් නොවේ. අපි කළමනාකරණය කරන සෑම රුපියලකටම අපි වගවන බවටත්, අප ලබාදෙන පොරොන්දු ඉටුකරන බවටත් එය සාක්ෂි සපයනවා″, යනුවෙන් බෙරෙන්ඩිනා සමූහයේ සභාපති අනුර අතපත්තු මහතා ප්‍රකාශ කළේය.
විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසරභාවය පදනම්කරගත් TAGS සම්මාන, 60 වන වසරට පා තබන අතර, එය ශ්‍රී ලංකාවේ ආයතනික වාර්තාකරණ විශිෂ්ටත්වය සඳහා මිණුම් ලකුණක් නියෝජනය කරයි. සංකීර්ණ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාපටිපාටි යනු පරිපාලන අභියෝග නොව වගවීමේ මූලිකාංගයක් ලෙස සැළකිය යුතුය.


