
2026 මාර්තු 18, කොළඹ – SLIM-KANTAR People’s Awards 2026 සම්මාන උළෙල අද රාත්‍රියේ Monarch Imperial හිදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක් වූ සන්නාම, කීර්තිමත් පුද්ගලයින් සහ ව්‍යාපාරික හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ පිරිස් එක් කරමින්, සැබවින්ම ජනතාවගේ හදවත් දිනාගත් පුද්ගලයන් ඇගයීම වෙනුවෙන් මෙම සන්ධ්‍යාව වෙන් කර ඇත.
මෙරට වඩාත්ම අපේක්ෂිත සම්මාන උළෙලක් ලෙස පිළිගැනෙන SLIM-KANTAR People’s Awards, ජනප්‍රියත්වය, මහජන විශ්වාසය සහ සබැඳියාව ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකාවේ අලෙවිකරණ සහ සන්නාම ක්ෂේත්‍රය තුළ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන ඇත. අනෙකුත් සම්මාන උළෙලවලට වඩා මෙය වෙනස් වෙන්නේ ජයග්‍රාහකයින් ජනතාව විසින්ම තෝරාගන්නා හේතුවෙනි. ඒ නිසා මේ සෑම සම්මානයක්ම සැබෑ මහජන මනාපය මනාව පෙන්වයි.
අද සවස 6.00 සිට ආරම්භ වීමට නියමිත මෙම සම්මාන උළෙල සඳහා ව්‍යාපාරික නායකයින්, අලෙවිකරුවන්, කලාකරුවන්, මාධ්‍ය නියෝජිතයින් සහ ආරාධිත අමුත්තන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙවර සම්මාන උළෙල මගින් ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ප්‍රබල ලෙස ප්‍රචලිත වූ සන්නාම සහ පුද්ගලයින් කෙරෙහි නැවත වරක් අවධානය යොමු කරනු ලබන අතර, රට පුරා ගෞරවය සහ පක්ෂපාතීත්වය දිනාගත් අය වෙත මෙහිදී උපහාර පිදේ.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ කන්ටාර් (KANTAR) ආයතනය එක්ව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල, පුළුල් පරාසයක විහිදුණු විවිධ කාණ්ඩ යටතේ ප්‍රවීණ සන්නාම මෙන්ම නැගී එන ජනප්‍රිය සන්නාමයන් ද ඇගයීමට ලක් කරන ගෞරවනීය ජාතික වේදිකාවක් බවට පත්ව ඇත.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සභාපති, මහාචාර්ය දේවසිරි එන්. ජයන්ත මහතා මෙසේ පැවසීය. “SLIM-KANTAR People’s Awards යනු ශ්‍රී ලාංකික ජනතාවගේ හඬ ප්‍රබල ලෙස පිළිබිඹු කරන වේදිකාවකි. මහජනතාව සමඟ අර්ථවත් සබඳතා ගොඩනඟා ගනිමින්, ඔවුන්ගේ විශ්වාසය හා ගෞරවය දිනාගත් සන්නාම සහ පුද්ගලයින් ඇගයීමට ලක් කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය.”
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) උප සභාපති (ව්‍යාපෘති සහ තිරසාරභාවය), ඉනොක් පෙරේරා මහතා මෙසේ පැවසීය. “සන්නාම සහ පුද්ගලයින්, ඔවුන්ගේ සේවය ලබන ජනතාව සමඟ පවත්වන සමීප සබඳතාවය මෙම සම්මාන හරහා අගය කරනු ලබයි. මහජනතාව විසින් ඇගයීමට ලක් කිරීම යනු ඕනෑම සන්නාමයකට හෝ පුද්ගලයකුට ලැබිය හැකි වඩාත් අර්ථවත් පිළිගැනීම්වලින් එකකි.”
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) ජ්‍යෙෂ්ට උප සභාපති (අධ්‍යාපන සහ පර්යේෂණ) සහ SLIM-Kantar People’s Awards 2026 ව්‍යාපෘති ප්‍රධානී, ආචාර්ය දිල්හාන් සම්පත් ජයතිලක මහතා මෙසේ පැවසීය. “SLIM-KANTAR People’s Awards සුවිශේෂී වන්නේ එය ශ්‍රී ලංකාවේ සැබෑ ජන හඬ සමරනු ලබන නිසාය. මෙම වේදිකාව තුළ ඇගයීමට ලක්වන සන්නාම සහ පුද්ගලයින් තමන්ගේ ස්ථානය දිනාගෙන ඇත්තේ මහජනතාව තුළ පවතින විශ්වාසය, සමීපත්වය සහ ඔවුන් සමඟ ඇති කරගෙන ඇති ශක්තිමත් බැඳීම හරහාය.”
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සහකාර ලේකම් සහ SLIM-KANTAR People’s Awards 2026 නියෝජ්‍ය ව්‍යාපෘති ප්‍රධානී චන්න ජයසිංහ මහතා මෙසේ පැවසීය. “SLIM-KANTAR People’s Awards යනු ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ අව්‍යාජ බැඳීමක් ගොඩනඟා ගත් සන්නාම සහ පුද්ගලයින් සඳහා පවත්වනු ලබන අර්ථවත් සැමරුමකි. මෙම සම්මාන වලට සුවිශේෂී වැදගත්කමක් සහ කල්පවත්නා වටිනාකමක් ලබා දෙන්නේ ජනතාව සමඟ පවතින එම සබඳතාවයයි.”
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) ප්‍රධාන විධායක නිලධාරී චමිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය. “වසර ගණනාවක් පුරා, SLIM-KANTAR People’s Awards යනු මෙරට වඩාත්ම අපේක්ෂිත ඇගයීමක් බවට පත්ව තිබේ. එය පාරිභෝගික හැඟීම් පිළිබඳ අර්ථවත් මිනුම් දණ්ඩක් ලබා දෙන අතරම, ශ්‍රී ලංකාව පුරා සිටින ජනතාව අඛණ්ඩව දිරිමත් කරන සහ ඔවුන් සමඟ සමීප සබඳතා පවත්වන සන්නාම සහ පුද්ගලයින් මෙහිදී සැමරේ.”
හිමලී මධුරසිංහ මහත්මිය (ශ්‍රී ලංකා ප්‍රධානී, කැන්ටාර් ආයතනය) මෙසේ අදහස් දැක්වීය, “තරගකාරී වෙළඳ පොලක සාර්ථකත්වය යනු හුදෙක් අලෙවිය හෝ වෙළඳ පොළෙහි පවතින ස්ථානය පමණක් නොවේ. සන්නාමයක් සැබවින්ම වෙනස් වන්නේ, එය පාරිභෝගිකයන් සමඟ ගොඩනගා ගන්නා සමීප, අර්ථවත් සබඳතාව නිසාය. විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ සමීක්ෂණයකින් තෝරාගත් මෙම ජයග්‍රාහකයින් සුවිශේෂි වන්නේ, ඔවුන් දීර්ඝ කාලයක් ජනතාවගේ ජීවිතවලට සැබෑ අර්ථවත් වෙනසක් ඇති කළ නිසාය. මෙම වෙළඳ සන්නාම සහ පුද්ගලයන් දිනාගෙන ඇති විශ්වාසය, පක්ෂපාතිත්වය සහ ගෞරවය එක රැයකින් ගොඩනගා ගත් දෙයක් නොවේ. එය පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අවබෝධය තුලින් ගොඩනගා ගත් දිගු කාලීන කැපවීමක ප්‍රතිඵලයක් . ‘SLIM KANTAR ජනතා සම්මාන’ මගින් අප අගයන්නේ සාර්ථක සන්නාමයන් පමණක් නොව, අපේ රටේ ජනතාවගේ හදවත් සැබවින්ම දිනාගත් සන්නාමයන්ය.”
අද රාත්‍රියේ පැවැත්වෙන මෙම සැමරුම ගැන සියලු දෙනා මහත් උනන්දුවකින් පසුවන අතර, ජනතාවගේ හදවත් දිනූ සන්නාම සහ පුද්ගලයින් ඇගයීමට ලක් කෙරෙන ප්‍රධානම ජාතික සම්මාන උළෙල ලෙස මෙය නැවතත් තහවුරු වනු ඇත.


