
- 2025 මූල්‍ය වර්ෂයේදී සමූහයේ බදු පසු ලාභය පෙර වසරට සාපේක්ෂව 221% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 10 ක් විය
- සමූහයේ මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 2 ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව 27% ක වර්ධනයකි
- මූල්‍ය වියදම් පෙර වසරට සාපේක්ෂව 21% කින් පහළ ගොස් තිබේ
- 2025 මූල්‍ය වර්ෂයේ SLT PLC බදු පසු ලාභය පෙර වසරට සාපේක්ෂව 196% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2 ක් විය
- Mobitel සමාගම 2025 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 1 ක බදු පසු ලාභයක් වාර්තා කළ අතර එය පෙර වසරට සාපේක්ෂව 2,123% ක වර්ධනයකි
- ක්‍රමෝපායික තරංග පරාස අත්පත් කරගැනීම් තුළින් 5G තාක්ෂණයේ නායකත්වය තවදුරටත් තහවුරු කරගැනීමට SLT-MOBITEL Mobile සමත් විය
2025 දෙසැම්බර් 31 වන දිනයෙන් අවසන් වූ සම්පූර්ණ වර්ෂය සඳහා සැලකිය යුතු පිරිවැය ඉතිරියක් වාර්තා කරමින් සහ සියලු ප්‍රධාන අංශවල ස්ථාවර ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරමින්, ලාභය සැලකිය යුතු ලෙස වර්ධනය කරගනීමට SLT සමූහය සමත් වී තිබේ. අතිශය සැලකිලිමත් පිරිවැය කළමනාකරණය, මූල්‍ය පහසුකම් වියදම් අවම කරගැනීම සහ ක්‍රමෝපායික මෙහෙයුම් වැඩිදියුණු කිරීම මෙම ශක්තිමත් කාර්යසාධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
සමූහයේ කාර්යසාධනය
2025 මූල්‍ය වර්ෂය ශක්තිමත් ලෙස අවසන් කරමින් ලාභදායීත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරගැනීමට SLT සමූහය සමත් විය. සමූහයේ බදු පසු ලාභය පෙර වසරට සාපේක්ෂව 221% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 10 ක් වූ අතර එය 2024 මූල්‍ය වර්ෂයේ වාර්තා වූයේ රුපියල් බිලියන 3.1 ක් වශයෙනි. පිරිවැය අවම කිරීම, මූල්‍ය පහසුකම් වියදම් අඩු කරගැනීම සහ ස්ථාවර හා ජංගම දුරකථන සේවා අංශවල ස්ථාවර ආදායම් වර්ධනය මීට හේතු විය.
සමූහයේ ආදායම 3% කින් වර්ධනය වී රුපියල් බිලියන 114.2 ක් ලෙස වාර්තා වූ අතර, එහිදී SLT PLC 2% ක වර්ධනයක් සහ Mobitel 5% ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර තිබේ. මෙහෙයුම් වියදම් (ක්ෂයවීම් සහ ක්‍රමක්ෂය කිරීම් හැර) රුපියල් බිලියන 72 ක් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 5.5% කින් වර්ධනය වී රුපියල් බිලියන 42.2 ක් ලෙසද, මෙහෙයුම් ලාභය 26.9% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 14.2 ක් ලෙසද වාර්තා විය.
ණය අවම කරගැනීම සහ පොලී අනුපාත පහළ යාම හේතුවෙන් මූල්‍ය පහසුකම් වියදම් අඛණ්ඩව පහත වැටුණු අතර, එමඟින් බදු පෙර ලාභය 88% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 11.3 ක් විය. ප්‍රධාන වශයෙන් SLT PLC හි මූල්‍ය පහසුකම් වියදම් අවම වීම හේතුවෙන් සමූහයේ පොලී පිරිවැය 21% කින් අඩු වී රුපියල් මිලියන 7,054 ක් ලෙස වාර්තා වී ඇත.
මෙම සාධනීය ප්‍රතිඵල සම්බන්ධයෙන් SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය: “2025 මූල්‍ය වර්ෂය සඳහා SLT සමූහයේ මූල්‍ය කාර්යසාධනය අපගේ ක්‍රමෝපායික දිශානතියේ සාර්ථකත්වය සහ අපගේ මෙහෙයුම්වල ශක්තිය මැනැවින් පිළිබිඹු කරනවා. දැඩි පිරිවැය පාලනය සහ විචක්ෂණශීලී මූල්‍ය කළමනාකරණය තුළින්, අපගේ ස්ථාවර හා ජංගම යන ව්‍යාපාර අංශ දෙකම එකවර දියුණුව කරා රැගෙන යන අතරම, ලාභදායීත්වයේ සැලකිය යුතු වර්ධනයක් අත්කර ගැනීමට අපට හැකි වුණා. මෙම කාර්යසාධනය, 2025 වසරේදී වාර්තා වූ යහපත් ප්‍රවණතා තුළින් තිරසාර දීර්ඝකාලීන වර්ධනයක් ළඟා කරගනිමින් අපගේ හවුල්කරුවන්ගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා අපගේ කැපවීම තවදුරටත් ශක්තිමත් කරනවා. අප කෙරෙහි අඛණ්ඩව විශ්වාසය රැඳවීම වෙනුවෙන් අපගේ වටිනා පාරිභෝගිකයන් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ටත්, අභියෝගවලට ශක්තිමත් ලෙස මුහුණ දෙමින් පෙන්නුම් කළ විශිෂ්ට කැපවීම වෙනුවෙන් අපගේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මා හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මෑතකදී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ මෙම කැපවීම ඉතා හොඳින් පිළිබිඹු වුණා. එම අවස්ථාවේදී අපගේ කණ්ඩායම් දැඩි ලෙස හානි වූ ජාල යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට සහ අත්‍යවශ්‍ය දුරකථන සන්නිවේදන සේවා කඩිනමින් නැවත ආරම්භ කිරීමට වෙහෙස නොබලා කටයුතු කළා. මේ ශක්තිමත් බව, සම්බන්ධතා පහසුකම් ශක්තිමත් කරමින් අපගේ සේවාවන් ලබන ප්‍රජාවන් වෙනුවෙන් අර්ථවත් මෙහෙවරක් ඉටුකිරීම සඳහා අප දරන උත්සාහය තුළ අපට අඛණ්ඩව මඟපෙන්වාවි.”
SLT PLC ස්ථාවර වර්ධනයක් වාර්තා කරයි
2025 මූල්‍ය වර්ෂය සඳහා, SLT PLC රුපියල් බිලියන 73 ක ආදායමක් වාර්තා කළ අතර එය පෙර වසරට සාපේක්ෂව 2% ක වර්ධනයකි. පාරිභෝගිකයන් ෆයිබර් තාක්ෂණය වෙත වැඩි වැඩියෙන් යොමු වීම හේතුවෙන් බ්‍රෝඩ්බෑන්ඩ් ආදායම අඛණ්ඩව ඉහළ ගිය අතර, ජාලකරණය, අන්තර්ජාලය සහ කළමනාකරණය කරනු ලබන සේවාවන් ආදියෙහි ප්‍රගතිය හේතුවෙන් ආයතනික සේවා අංශයද යහපත් ප්‍රතිඵල පෙන්නුම් කර තිබේ. රාජ්‍ය සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශද වසර තුළ ශක්තිමත් වර්ධනයක් වාර්තා කර ඇත.
මෙහෙයුම් වියදම් (ක්ෂයවීම් සහ ක්‍රමක්ෂය කිරීම් හැර) රුපියල් බිලියන 46.6 මට්ටමේ පවත්වාගන්නා ලද අතර එය 3% ක වර්ධනයකි. මේ අතර මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) රුපියල් බිලියන 26.4 ක් ලෙස ස්ථාවරව පැවතිණි. මෙහෙයුම් ලාභය 27% කින් වර්ධනය වී රුපියල් බිලියන 9.3 ක් වූ අතර, බදු පසු ලාභය 2024 මූල්‍ය වර්ෂයට වඩා 196% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 6.2 ක් ලෙස වාර්තා වී ඇත. වෙළඳ නියෝජිතයන් සම්බන්ධ මූල්‍ය පහසුකම් සහ ණය අඛණ්ඩව පියවීමට සමාගම පියවර ගැනීම හේතුවෙන් මූල්‍ය පිරිවැය පහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
සමූහයේ කාර්යසාධනය ශක්තිමත් කළ Mobitel
2025 මූල්‍ය වර්ෂය සඳහා Mobitel අතිවිශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කර තිබේ. සමාගම රුපියල් බිලියන 3.1 ක බදු පසු ලාභයක් වාර්තා කළ අතර එය 2024 මූල්‍ය වර්ෂයේ වාර්තා වූ රුපියල් මිලියන 139 ට සාපේක්ෂව 2,123% ක වර්ධනයකි. ආදායම 5% කින් වර්ධනය වී රුපියල් බිලියන 47.9 ක් වූ අතර, අන්තර්ජාල සේවා භාවිතය සහ පාරිභෝගික පදනම ඉහළ යාම හේතුවෙන් අන්තර්ජාල සේවා ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු විය. අගය එකතු කළ සේවා (VAS), රෝමිං, උපාංග අලෙවිය සහ mCash හා ව්‍යවසාය විසඳුම්ද මෙම වර්ධනයට දායක වී තිබේ. පාරිභෝගික-කේන්ද්‍රීය දීමනා හඳුන්වාදීම සහ ජාල අත්දැකීම වැඩිදියුණු කිරීම මඟින් මෙම ප්‍රවණතාව තවදුරටත් ශක්තිමත් විය. මෙහෙයුම් වියදම් (ක්ෂයවීම් සහ ක්‍රමක්ෂය කිරීම හැර) මනා පාලනයකට යටත්ව 2% කින් පමණක් වර්ධනය වීම, සමාගමේ සියලු අංශයන්හි පිරිවැය ඵලදායී ලෙස ප්‍රශස්තකරණය කර ඇති බවට මනා සාක්ෂියකි.
මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 11% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 15.1 ක් වූ අතර, මෙහෙයුම් ලාභය 18% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3.4 ක් විය. Mobitel සමාගම 2024 වසරේදී භාවිතා කළ ආදායම මත පදනම් වූ බදුකරණ ක්‍රමවේදය වෙනුවට 2025 වසරේදී ලාභ මත පදනම් වූ බදුකරණ ක්‍රමවේදයකට මාරු වීමත් සමඟ බදු ක්‍රමය සාමාන්‍යකරණය වීම මෙන්ම, මෑතකාලීන ආයෝජනවලින් පළමු වසරේ දීමනා ලැබීම යන සාධකද මෙබඳු ඉහළ බදු පසු ලාභයක් වාර්තා කිරීමට උපකාරී වී තිබේ.
මෙම යහපත් ප්‍රවණතාව සම්බන්ධයෙන් SLT-MOBITEL හි ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් මහතා මෙසේ සිය අදහස් පළකළේය: “2025 මූල්‍ය වර්ෂය SLT සමූහයට තීරණාත්මක වර්ෂයක් වුණා. සැලසුම් ශක්තිමත් ලෙස ක්‍රියාවට නැංවීම සහ කළමනාකරණය විධිමත් කිරීම තුළින් SLT PLC සහ Mobitel සිය ලාභදායීත්වය කැපීපෙනෙන ලෙස වර්ධනය කරගෙන තිබෙනවා. නවෝත්පාදන සහ වෙළඳපොළ නායකත්වය ඔස්සේ සේවාවන් පුළුල් කරමින් සහ පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කරගනිමින්, 2026 මූල්‍ය වර්ෂය තුළදී අලුත් වූ ජවයකින් යුතුව අපගේ වර්ධනය තවදුරටත් වේගවත් කිරීම අපගේ අරමුණයි.”
4 වැනි කාර්තුවේදීත් ලාභ ලැබීමේ ප්‍රවණතාව අඛණ්ඩව
2025 මූල්‍ය වර්ෂයේ 4 වන කාර්තුව සඳහා SLT සමූහය රුපියල් බිලියන 3.5 ක බදු පසු ලාභයක් වාර්තා කළ අතර එය 2024 මූල්‍ය වර්ෂයේ 4 වන කාර්තුවට සාපේක්ෂව 51% ක වර්ධනයකි. සමූහයේ ආදායම රුපියල් බිලියන 29.5 ක් වූ අතර එය පසුගිය වර්ෂයට වඩා 1.6% ක වර්ධනයක් ලෙස වාර්තා වී ඇත. කාර්තුවේදී ඉහළ මෙහෙයුම් වියදම් හේතුවෙන් මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) යම් පීඩනයකට ලක් විය.
2025, 4 වන කාර්තුවේ කාර්යසාධනය සඳහාත් වැඩිම දායකත්වයක් ලබාදෙන ලද්දේ SLT PLC විසිනි. එහි ආදායම 4.4% කින් වර්ධනය වී රුපියල් බිලියන 19.1 ක් වූ අතර, ෆයිබර් පාරිභෝගිකයන් සංඛ්‍යාව ඉහළ යාම නිසා බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් වර්ධනය වීම මීට ප්‍රධාන වශයෙන් හේතු විය.
2025 මූල්‍ය වර්ෂයේ 4 වන කාර්තුවේදී SLT PLC හි බදු පසු ලාභය පෙර වසරට සාපේක්ෂව 139% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2.2 ක් ලෙස වාර්තා වී ඇති අතර එයට පොලී පිරිවැය පහළ යාමේ වාසිය අඛණ්ඩව හිමි වී ඇති බවට සාක්ෂි දරයි.
2025 මූල්‍ය වර්ෂයේ 4 වන කාර්තුවේදී Mobitel රුපියල් බිලියන 12.5 ක ආදායමක් වාර්තා කළ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 1% ක වර්ධනයකි. 2025 මූල්‍ය වර්ෂයේ 4 වන කාර්තුවට ඇතුළත් වූ බදු ලාභය හේතුවෙන් සමාගමේ බදු පසු ලාභය 14% කින් වර්ධනය වී රුපියල් බිලියන 1.4 ක් විය.
ඩිජිටල් ශ්‍රී ලංකාව බලගැන්වීම සඳහා ෆයිබර් ආවරණය පුළුල් කිරීම
2025 මූල්‍ය වර්ෂය පුරාම SLT සමූහය ෆයිබර් සේවාවන් සඳහා සිදු කළ තීරණාත්මක ආයෝජන සහ සේවා ව්‍යාප්තිය අතිශයින් වැදගත් විය. විශේෂයෙන් පාරිභෝගිකයන්ට සම්බන්ධතාව ලබාදීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ රට පුරා අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ව්‍යාප්ත කිරීම සඳහා මෙමඟින් සුවිශාල මෙහෙවරක් ඉටු විය. ෆයිබර් තාක්ෂණය හේතුවෙන් ගෘහස්ථ සහ ව්‍යාපාරික පාරිභෝගිකයන්ගේ ඉල්ලුම ඉහළ ගිය අතර, ඒ හේතුවෙන් Lanka Government Network and Cloud වැනි ප්‍රධාන පෙළේ යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට හැකියාව ලැබිණි. එය විද්‍යුත් රාජ්‍ය පාලන ක්‍රියාවලිය (e‑governance) සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ. සේවා බැහැරදීම් ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා SLT සමූහය ලබාදෙන දායකත්වය තවදුරටත් තහවුරු කළේය.
5G තාක්ෂණය සමඟින් සම්බන්ධතාවේ නව යුගයට නායකත්වය දෙමින්
ජාල යටිතල පහසුකම් සඳහා විධිමත් ලෙස ආයෝජනය කිරීම සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවන් හඳුන්වා දීම ඔස්සේ ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම බලවේගයක් ලෙස අඛණ්ඩව පෙරමුණ ගැනීමට Mobitel සමත් වී තිබේ. 2025 වසරේ පෙන්නුම් කළ ශක්තිමත් මූල්‍ය ප්‍රවණතාව තුළින් Mobitel අත්කරගත් ප්‍රධානතම ජයග්‍රහණය වූයේ ක්‍රමෝපායික ලෙස 5G තරංග පරාසය අත්පත් කරගැනීමය. රට තුළ 5G තාක්ෂණය මහජනතාවට විවෘත කළ ප්‍රථම සේවා සම්පාදකයා වශයෙන් Mobitel දිවයින පුරා 5G ව්‍යාප්ත කිරීම හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය මෙහෙයවමින්, SLT සමූහයේ දීර්ඝකාලීන ක්‍රමෝපාය ශක්තිමත් කරන අතරම සහ සම්බන්ධතා තාක්ෂණයේ නව යුගයේ සමාරම්භය සනිටුහන් කරමින් සිටී.
දිට්වා සුළි කුණාටුව නිසා රටට මුහුණ දීමට සිදු වූ අභියෝග ජයගැනීම
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ෆයිබර් මාර්ග අලුත්වැඩියා කිරීමට සහ බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවල Access nodes දහස් ගණනක් යථා තත්ත්වයට පත් කිරීමට SLT-MOBITEL හි මෙහෙයුම් ජාලය සම්පූර්ණයෙන්ම අනියුක්ත කරන ලද අතර, බලපෑමට ලක් වූ ස්ථානවලින් 98% කට වඩා සතියක් ඇතුළත යථා තත්වයට පත් කිරීමට හැකි විය. රටේ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වීම සඳහා රෝහල් සහ රජයේ ආයතනවල සම්බන්ධතාවන් යථා තත්වයට පත්කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන ලදී. SLT-MOBITEL විසින් කොළඹ විශ්ව විද්‍යාලය සමඟ එක් වී 247 ජාතික වෛද්‍ය උපකාරක සේවාව දියත් කරන ලද අතර, එමඟින් සියලුම සේවා සම්පාදක සමාගම් සඳහා පැය 24 පුරාම වෛද්‍ය මාර්ගෝපදේශ සේවාව ලබා දෙන ලදී. මේ සියල්ල ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා ලෙස මෙන්ම, අර්බුද අවස්ථාවන්හිදී ව්‍යාපාර කටයුතුවලට වඩා රටේ යහපතට ප්‍රමුඛත්වය දෙන සමාගමක් ලෙස SLT-MOBITEL සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු කළේය.
යහපත් ප්‍රවණතාව ඔස්සේ ඉදිරියටම
ඉදිරියේදී අඛණ්ඩව ෆයිබර් සේවාවන් ව්‍යාප්ත කිරීම ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් භාවිතය පුළුල් කිරීම, තරගකාරී නව පැකේජ හරහා Mobitel හි පාරිභෝගික පදනම වර්ධනය කිරීම සහ ව්‍යවසාය හා ඩිජිටල් සේවාවන් සම්බන්ධයෙන් දැනට පවතින යහපත් ප්‍රවණතා අඛණ්ඩව පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින්, පාරිභෝගිකයන් සහ ව්‍යාපාර මෙන්ම සමස්තයක් ලෙස රටේ ඩිජිටල් ආර්ථිකය වෙනුවෙන් දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය කිරීම SLT සමූහයේ අරමුණ වී තිබේ.


