
මාලබේ SLIIT සරසවිය තුළ පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික ආගන්තුක සත්කාර සහ සුපවේදී පුහුණු ආයතනයක් වන Colombo Academy of Hospitality Management (Pvt) Ltd (CAHM), සිය මංගල ‘CAHM 7-Star Junior Chef’ තරගාවලිය නිල වශයෙන් ආරම්භ කර ඇත. මීළඟ පරම්පරාවේ සුපවේදී වෘත්තිකයන් බිහි කිරීම අරමුණු කරගත් මෙම තරගාවලිය සඳහා සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් පුද්ගලික සමාගම සිය ප්‍රමුඛතම සන්නාමය වන ‘7 Star තිරිඟු පිටි’ හරහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක්ව සිටී. වයස අවුරුදු 13 සිට 16 දක්වා වූ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම තරගාවලිය හරහා සුපවේදී කලාව කෙරෙහි උනන්දුවක් ඇති කිරීම, කුසලතා වර්ධනය කිරීම සහ සාම්ප්‍රදායික උසස් අධ්‍යාපනයෙන් ඔබ්බට ගිය ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ විකල්ප වෘත්තීය මංපෙත් පිළිබඳව අවධානය යොමු කිරීම ද අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අංශය වේගයෙන් වර්ධනය වන මොහොතක, දක්ෂ වෘත්තිකයන් සඳහා පවතින ඉල්ලුම සපුරාලීමටත්, කුඩා අවධියේදීම සිසුන් මෙම ක්ෂේත්‍රයට හඳුන්වා දීම හරහා ඔවුන්ගේ නිර්මාණශීලිත්වය සහ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමටත් CAHM ආයතනය මෙමගින් උත්සාහ කරයි.
මෙම අවස්ථාවට එක්වෙමින් Colombo Academy of Hospitality Management (Pvt) Ltd හි සභාපති එරල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, ‘CAHM 7-Star Junior Chef’ තරගාවලිය නිර්මාණය කරන ලද්දේ සුපවේදී සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට සහජ දක්ෂතා ඇති දරුවන් හඳුනාගෙන ඔවුන්ව දිරිමත් කිරීමට බවයි. කුඩා අවධියේදීම සිසුන් මෙවැනි වෘත්තීය මට්ටමේ වේදිකාවකට හඳුන්වා දීමෙන්, ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය ගෞරවනීය මෙන්ම සාර්ථක වෘත්තීය මාවතක් ලෙස දැකීමට ඔවුන්ට උපකාර වන බවත්, එමගින් ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය සඳහා ශක්තිමත් අනාගත වෘත්තික පිරිසක් බිහි කිරීමට දායක වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. එම නිසා ජයග්‍රාහකයාට අප විසින් රු. මිලියන 2වන පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා දීමට තීරණය කර ඇත.
සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් පුද්ගලික සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී විජේ ෂර්මා මහතා අදහස් දක්වමින් කියා සිටියේ, ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස 7 Star තිරිඟු පිටි සන්නාමය හරහා හෙට දවසේ සුපවේදීන් පෝෂණය කිරීමට සහ තරුණ දක්ෂතා දිරිමත් කිරීමට තමන් කැපවී සිටින බවයි. උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය මගින් ඕනෑම ආහාරයක රසය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකි බව විශ්වාස කරන අතර, මෙම හවුල්කාරිත්වය හරහා මීළඟ පරම්පරාවේ සුපවේදීන්ට අවශ්‍ය ශක්තිය ලබා දෙන බව ඔහු පැවසීය. සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් හි අරමුණ ‘ජාතිය පෝෂණය කිරීම’ වන අතර, මෙම මුලපිරීම හරහා අනාගත සුපවේදී පරම්පරාව පෝෂණය කිරීමට හැකි වීම පිළිබඳව ඔහු සිය සතුට පළ කළේය.
වසර 18ක අත්දැකීම් බහුල ඉතිහාසයක් ඇති සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් පුද්ගලික සමාගම, මෙරට ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Al Ghurair සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ආයතනයක් ලෙස ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව කටයුතු කරයි. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ ලෝක ප්‍රකට William Angliss ආයතනය සමඟ අත්වැල් බැඳගෙන සිටින ශ්‍රී ලංකාවේ එකම ආයතනය වන CAHM, ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් සිසුන්ට ලබා දීමට කැපවී සිටී. ඉදිරියේදී මෙම තරගාවලිය වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, තවත් හවුල්කාරිත්වයන් ගොඩනගා ගනිමින් ශ්‍රී ලංකාවේ සුපවේදී ක්ෂේත්‍රයේ දක්ෂයින් බිහි කිරීමට CAHM බලාපොරොත්තු වේ.


