Tetra Recart සමඟ ශ්‍රී ලංකාවේ ඇසුරුම්කරණ ක්ෂේත්‍රය අලුත් වෙයි

1- Wichy Tetra Recart ribbon cutting (LBN)

Wichy Plantation Company (Pvt) Ltd), දකුණු ආසියාවේ ප්‍රථම Tetra Recart R2 නිෂ්පාදන පෙළෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති අතර, මෙය ශ්‍රී ලංකාවේ ආහාර සැකසුම් සහ අපනයන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම උපායමාර්ගික ආයෝජනය හරහා ශ්‍රී ලංකාව තිරසර ඇසුරුම්කරණ නවෝත්පාදනයන්හි ඉදිරියටම පැමිණෙන අතර, ඉදිරියේදී බලාත්මක වීමට නියමිත යුරෝපා සංගම් රෙගුලාසිවලට අනුගත වීමටද මඟ පාදයි.



1984 වසරේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට පොල්කිරි අපනයනය කිරීමේ සිට Wichy සමාගම මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරන්තරයෙන් නවෝත්පාදන සඳහා නායකත්වය ලබා දී ඇත. මෙම නව Tetra Recart R2 නිෂ්පාදන පෙළ යනු එම සිව් දශකයක ගමන් මඟෙහි නවතම පරිණාමය වන අතර, සාම්ප්‍රදායික ඇසුරුම් ක්‍රමවේදවල සිට ඉහළ තිරසර බවක්, ගුණාත්මක බවක් සහ පාරිභෝගික පහසුවක් ලබා දෙන කඩදාසි පදනම් කරගත් මීළඟ පරපුරේ ඇසුරුම්කරණය කරා මාරු වීම මෙහිදී සිදු වේ.

“Wichy සමාගම සැමවිටම නව ප්‍රවණතා හඳුන්වා දෙන්නෙකු (Trendsetter) වී තිබෙනවා,” යනුවෙන් Wichy සමාගමේ මව් සමාගම වන Wardena Venture Holdings හි සභාපති අශෝක සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. “ගුණාත්මකභාවයෙන්, ආරක්ෂිත බවින් සහ වටිනාකමෙන් ඉතා උසස් ශ්‍රී ලාංකීය නිෂ්පාදන අපනයනය කිරීම පිළිබඳව අප මහත් සේ ආඩම්බර වන අතර, නවෝත්පාදනය යනු අපගේ වටිනාකම් පද්ධතියේ මෙන්ම අප කරන සෑම දෙයකම මධ්‍යයෙහි පවතින සාධකයයි”.

මෙම පහසුකම හරහා BPA (Bisphenol A) ආශ්‍රිත අවශ්‍යතා ඇතුළුව 2027 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත යුරෝපා සංගම් රෙගුලාසිවලට වඩාත් කලින් අනුගත වීමේ හැකියාව ලැබේ. නෛතික රෙගුලාසිවලට අනුගත වීමට අමතරව, දියර, අර්ධ දියර සහ ඝන නිෂ්පාදන එකම අවස්ථාවක ඇසුරුම් කළ හැකි ස්වාධීන පිරවුම් පද්ධති තුනක් (Three independent fillers) හරහා පෙර නොවූ විරූ මෙහෙයුම් නම්‍යශීලීතාවක් මෙම ආයෝජනය මඟින් ලබා දෙන අතර, එය නිෂ්පාදන සංවර්ධන අවස්ථා පුළුල් කරන සුවිශේෂී අංගයකි.

“මෙම ආයෝජනය මඟින් ඕනෑම වෙළඳපොළක ගෝලීය දැවැන්තයන් සමඟ තරඟ කිරීමට අපට ශක්තිය ලබා දෙන මීළඟ පරපුරේ තාක්ෂණය අප වෙත සමීප කරනවා,” යනුවෙන් සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක අධ්‍යක්ෂ ඉන්දික පෙරේරා මහතා පැහැදිලි කළේය. “ශ්‍රී ලංකාවේ අංක එකේ පොල් සහ ආහාර නිෂ්පාදන අපනයනකරු බවට පත්වීමේ Wichy සමාගමේ ගමන් මඟ මෙම උපායමාර්ගික පියවර මඟින් නිසැකවම වේගවත් කරනු ඇති” බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සාම්ප්‍රදායික ටින් කෑන් සහ වීදුරු බෝතල්වලට සාපේක්ෂව Tetra Pak සමාගමේ මෙම සුවිශේෂී ඇසුරුම් විසඳුම මඟින් නිෂ්පාදනවල කල් තබා ගැනීමේ කාලය වැඩි කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීමේ පහසුව, අවම කාබන් පියසටහන සහ ප්‍රවාහන කාර්යක්ෂමතාව වැනි සැලකිය යුතු වාසි රැසක් ලබා දෙයි. යුරෝපය ඇතුළු ලොව පුරා තිරසරත්වය අගය කරන වෙළඳපොළවල් තුළ පාරිභෝගික රුචිකත්වයට ගැළපෙන පරිදි, මෙම ඇසුරුම් පහසුවෙන් විවෘත කිරීමට සහ භාවිතයෙන් පසු නැවත භාවිතයට ගත හැකි සේ වසා ‍ තැබීමට (Easy-open, re-close) හැකි පරිදි නිර්මාණය කර ඇත.

 

 

“මෙම සන්ධිස්ථානය හරහා පිළිබිඹු වන්නේ පොල් ආශ්‍රිත කර්මාන්තය නවෝත්පාදනය කරා මෙහෙයවීමට Wichy සමාගම සතු නායකත්වය සහ නොපසුබට උත්සාහයයි,” යනුවෙන් Tetra Pak දකුණු ආසියානු කළමනාකාර අධ්‍යක්ෂ කැසියෝ සිමෝස් මහතා පැවසීය. “අප එක්ව පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා දකුණු ආසියාවේ ප්‍රථම Tetra Recart විසඳුම හඳුන්වා දී ඇති අතර, එය නවෝත්පාදනය සහ තිරසාරභාවය පිළිබඳ අපගේ පොදු කැපවීම තවදුරටත් තහවුරු කරන්නක්” බව ඔහු සඳහන් කළේය.

වැදගත්ම කරුණ නම්, මෙම පහසුකමේ බලපෑම Wichy සමාගමේ මෙහෙයුම්වලට පමණක් සීමා නොවීමයි. ‘සම-ඇසුරුම්කරණ’ (Co-packing) හවුල්කාරිත්වයන් හරහා පලතුරු, එළවළු, මුහුදු ආහාර සහ පෙර සැකසූ ආහාර ඇතුළු විවිධ අංශවල ශ්‍රී ලාංකීය අපනයනකරුවන්ට විශාල ප්‍රාග්ධන ආයෝජනයකින් තොරව මෙම ලෝක මට්ටමේ ඇසුරුම් තාක්ෂණය ලබා ගැනීමට දැන් අවස්ථාව ඇත. මෙම මුළු ව්‍යාපෘතියම Wichy සමාගමේ අභ්‍යන්තර විශේෂඥ දැනුම මඟින් ක්‍රියාත්මක වීම ඔවුන් සතු ගැඹුරු තාක්ෂණික හැකියාවන් විදහා දක්වන්නකි.

“අපගේ සාර්ථකත්වයේ හදවත වන්නේ අපගේ මිනිස් බලයයි,” යනුවෙන් සමූහ මානව සම්පත් අධ්‍යක්ෂ සරත් ජයසිංහ මහතා අවධාරණය කළේය. “මෙම සුවිශේෂී සන්ධිස්ථානය සඳහා වූ සැලසුම්කරණය, සූදානම සහ ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලැබුවේ අපගේ අභ්‍යන්තර වෘත්තීය කණ්ඩායම විසින්” යැයි ඔහු පැවසීය.

Wichy සමාගම BRCGS AA+, IFS, BSCI, SEDEX, Fairtrade සහ Naturland ඇතුළු ජාත්‍යන්තර සහතිකකරණයන් යටතේ ක්‍රියාත්මක වන අතර, මේ නිසා ගෝලීය මට්ටමේ ප්‍රධාන සිල්ලර වෙළඳ ජාලයන්ගේ වඩාත් කැමති සැපයුම්කරුවෙකු (Preferred supplier) ලෙස ඔවුන් පිළිගැනීමට ලක්ව ඇත. එසේම සමාගම ජනාධිපති අපනයන සම්මාන සහ NCE අපනයන සම්මාන ඇතුළු ජාතික මට්ටමේ සම්මාන රැසක්ද දිනා ඇත.

“පාරිභෝගික සහ වෙළඳපොළ දත්ත මත පදනම් වූ මෙම ආයෝජනය, අනාගතය වෙනුවෙන් අප දක්වන ක්‍රියාකාරී කැපවීමක්,” යනුවෙන් අංශ ප්‍රධාන විධායක නිලධාරී චරිත්‍ර හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. “මෙම පියවර මඟින් අපගේ ව්‍යාපාරයේ අනාගතය සුරක්ෂිත වන අතරම, ගෝලීය වෙළඳපොළට නව්‍ය, නෛතික රෙගුලාසිවලට අනුකූල සහ තිරසාර විසඳුම් ලබා දීමට අප කළ පොරොන්දුව තවදුරටත් තහවුරු කරනවා” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව, ගෝලීය අගය එකතු කිරීමේ දාමය තුළ සිය ස්ථාවරය ශක්තිමත් කරමින් සිටින අවස්ථාවක, Wichy සමාගමේ මෙම Tetra Recart R2 නිෂ්පාදන පෙළ ආරම්භ කිරීම යනු උපායමාර්ගික නවෝත්පාදනයන් හරහා දේශීය කර්මාන්ත ජාත්‍යන්තර නායකත්වය කරා ඔසවා තැබිය හැකි ආකාරය පිළිබඳ ආදර්ශමත් අවස්ථාවකි.

Wichy ප්ලාන්ටේෂන් සමාගම පිළිබඳව: 1984 වසරේ ආරම්භ කළ Wichy ප්ලාන්ටේෂන් සමාගම, Wardena Venture Holdings යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පොල් ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදකයා සහ අපනයනකරු වේ. සමාගම විසින් විජලනය කළ පොල්, පොල්කිරි, වර්ජින් පොල්තෙල්, පොල් ක්‍රීම් සහ ගෝලීය වෙළඳපොළ සඳහා විශේෂිත නිෂ්පාදන රැසක් නිෂ්පාදනය කරනු ලබයි



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව