
2025 නොවැම්බර් 27, කොළඹ – චීනයේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය (MARA), එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ශ්‍රී ලංකා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ කලාපීය සහයෝගිතා වැඩපිළිවෙළ මඟින් ශ්‍රී ලංකාවේ පලතුරු වටිනාකම් දාම ( Fruit Value Chain) ශක්තිමත් කිරීමෙහිලා විශිෂ්ට ප්‍රතිඵල ලබා දී තිබේ. මෙම චීන නිවර්තන කෘෂිකාර්මික විද්‍යා ඇකඩමිය (CATAS) සමඟ ක්‍රියාත්මක කරන ලද මෙම දෑ අවුරුදු ව්‍යාපෘතිය මගින්, කොළඹ, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ස්ථාපිත කරන ලද ආදර්ශ ගොවිපළ දහයක කෙසෙල්, අඹ සහ අන්නාසි නිෂ්පාදනයේ ඵලදායිතාව, ගුණාත්මකභාවය සහ නිෂ්පාදන හැකියාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඉහළ ප්‍රගතියක් අත්කර ගන්නා ලදී.
ප්‍රධාන ජයග්‍රහණ පහත දැක්වේ:
- ඵලදායිතාව ඉහළ නැංවීම: සාම්ප්‍රදායිකව අක්කරයකට පැළ 4,000ක් සිටුවීමට සාපේක්ෂව, අක්කරයකට පැළ 25,000 – 32,000 දක්වා සිටුවන අධි-ඝනත්ව වගාව මඟින් අන්නාසි අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 55ක් දක්වා තුන් ගුණයකින් වැඩි විය.
- ගුණාත්මකභාවය ඉහළ නැංවීම: උසස් කප්පාදු ක්‍රම සහ ගෙඩි ආවරණය කිරීමේ තාක්ෂණික ක්‍රම මඟින් අපනයන මට්ටමේ අඹ නිෂ්පාදනය සියයට 90ක් දක්වා ඉහළ නැංවිණි.
- පිරිවැය අඩු කිරීම: කෙසෙල් පටක රෝපිත පැළ නිෂ්පාදනය දෙගුණ කරමින් පිරිවැය සියයට 30 – 40කින් අඩු කරන ලදී.
- ගොවීන්ගේ හැකියාව ඉහළ නැංවීම: ආදර්ශ ගොවිපළ 10කදී ගොවීන් සහ නිලධාරීන් 2,000කට අධික සංඛ්‍යාවක් පුහුණු කරන ලද අතර, මෙම වැඩි දියුණු කළ වගා පිළිවෙත් පිළිබඳ පුහුණු වීඩියෝ හයක් නිෂ්පාදනය කර ඒවා ජාතික පුහුණු විෂය මාලාවන්ට ඒකාබද්ධ කිරීම මගින් ඉදිරි ව්‍යාප්ති කටයුතු පහසු කරන ලදී.
උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අති නවීන කෙසෙල් පටක රෝපණ විද්‍යාගාරයක් ස්ථාපිත කිරීම මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී ජයග්‍රහණයකි. මෙම පහසුකම මඟින් පළාත් තුනක ගොවීන්ට රෝගවලින් තොර, ඉහළ අස්වැන්නක් ලබා දෙන රෝපණ ද්‍රව්‍ය සපයනු ලබන අතර, එමඟින් දුරස්ථ පැළ සැපයුම්කරුවන් මත යැපීම අඩු කිරීම හා ප්‍රවාහනය ආශ්රිත පාඩු අවම කිරීම මගින් දැරිය හැකි මිලකට ගුණාත්මක පටක රෝපිත පැළ අවශ්‍ය ප්‍රමාණයට ලබාදීමට හැකි වේ.

ඒකාබද්ධ හා තිරසාර බලපෑම
ඒකාබද්ධ ප්රවේශයකින් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය තුළින් සමස්ථ ප්රතිලාභීන්ගෙන් 40%ක් කාන්තාවන් වීම විශේෂත්වයකි. ඉලක්කගත පුහුණු මඟින් කෘෂිකර්මාන්තයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අභියෝගයන්ට මුහුණ දීම සඳහා කාන්තා ගොවීන්ට නව ජෛව තාක්ෂණයන් සහ පිළිවෙත් පිළිබඳ දැනුම සමාන ප්රවේශයකින් ලැබීම සහතික කෙරිණි.
හඳුන්වා දෙනු ලැබූ තාක්ෂණයන් ජාතික තාක්ෂණ ඇගයීම් කමිටු මඟින් අනුමත කර පුහුණු විෂය මාලාවන්ට ඒකාබද්ධ කරමින් පවතින අතර, එමඟින් ආයතනික වශයෙන් ඒවා භාවිතයට ගැනීම සහ ගොවි ප්‍රජාව අතර ව්‍යාප්ත කිරීම සහතික කෙරේ.
“මෙම කලාපීය සහයෝගිතා වැඩපිළිවෙළ හරහා කෘෂිකාර්මික නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යෑම සඳහා ශ්‍රී ලංකාව සමඟ හවුල් වීමට ලැබීම පිළිබඳ චීනය ආඩම්බර වන බව,” යි ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ගරු ක්වී චෙන්හොන්ග් මහතා පැවසීය. ඔහු තවදුරටත් පැවසුවේ, “දැනුම සහ තාක්ෂණය බෙදාගැනීම තුළින්, ඉහළ අස්වැන්නක්, වඩා හොඳ ගුණාත්මකභාවයක් සහ ශක්තිමත් ජීවනෝපායක් සාක්ෂාත් කර ගැනීම සඳහා අපි ගොවීන්ට සහාය වන්නෙමු,” යන්නයි.
මෙම සහයෝගිතා වැඩපිළිවෙළ සැමට ආදර්ශයක් වන අතර, එය මෙම කලාපය තුළ ඒ හා සමාන හවුල්කාරිත්වයන් සඳහා දිරිගැන්වීමක් වේ. ශ්‍රී ලංකාවේදී දියුණු කරන ලද තාක්ෂණික ක්‍රමවේද සහ නවෝත්පාදනයන්, ඒ හා සමාන කෘෂිකාර්මික අභියෝගවලට මුහුණ දෙන අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල භාවිතය සඳහා භාවිතා කරමින් පවතී.

“ශ්‍රී ලංකාවේදී අත්කර ගත් සාර්ථකත්වය මගින් වර්තමානයේ ගොවීන්ගේ ජීවන තත්වය වැඩිදියුණු කරනවා පමණක් නොව, අනාගතය සඳහා වඩාත් ශක්තිමත්, ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් පලතුරු අගය දාමයන් හඳුනා ගැනුණි. මෙම ක්ෂේත්රයේ තිරසර වර්ධනය සහ ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීම සඳහා, රටේ පලතුරු ගොවීන් ද ඇතුළුව, රජය සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ සමීප හවුල්කාරිත්වයකින් හා මෙම සාර්ථකත්වයන් මත පදනම්ව කටයුතු කිරීමට FAO බලාපොරොත්තු වේ,” යි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා පැවසීය.
“මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන වැඩසටහනට සෘජුවම සහාය වන අතර අනාගත ආහාර සුරක්ෂිතතා අභියෝගවලට මුහුණ දීම සඳහා අපගේ ජාතික හැකියාව ශක්තිමත් කරයි. නවතම දැනුම සහ මෙවලම් මඟින් ගොවීන් සවිබල ගැන්වීම ඔස්සේ, ඵලදායිතාව වැඩි දියුණු කරන අතර අපගේ පලතුරු ක්ෂේත්රයේ දිගුකාලීන තිරසරභාවය සුරක්ෂිත කරන්නෙමු,” යනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙම වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින්, චීනයේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගිතා දෙපාර්තමේන්තුවේ අංශ අධ්‍යක්ෂිකා ඩොන්ග් මෝලි මහත්මිය මෙසේ පැවසුවාය: “මෙම ජයග්‍රහණ මඟින් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ කලාපීය සහයෝගිතාව යනු තාක්ෂණය හුවමාරු කිරීමේ මාර්ගයක් පමණක් නොව, රටක ස්වකීය සංවර්ධන ධාරිතාව ගොඩනැංවීම, දැනුම බෙදාගැනීම ප්‍රවර්ධනය කිරීම සහ බහුවිධ ප්රතිලාභ ඇති කිරීම සඳහා වන වැදගත් මාවතක් බවයි.”


