
අමානා බැංකුව පසුගියදා පැවැත්වුණු 2025 LankaPay Technnovation සම්මාන උළෙලේදී ‘Best Common ATM Enabler of the Year (C කාණ්ඩය)’ යටතේ රන් සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය ගෙවීම් තාක්ෂණය වැඩිදියුණු කරමින් සිය ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් පිරිනැමීම සඳහා අමානා බැංකුව දක්වන උනන්දුවට හා කැපවීමට ලැබුණු තවත් සුවිශේෂී ඇගයුමක් ලෙස හැඳින්විය හැකි වේ.
LankaPay Technnovation සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලය වන LankaPay මගින් වන අතර, මෙම සම්මාන උළෙල පැවැත්වුණු 7 වැනි අවස්ථාව මෙයයි. මෙම සම්මාන උළෙලේ ප්‍රධානතම අරමුණ රටේ මූල්‍ය සේවා ක්ෂේත්රයේ තාක්ෂණික පුරෝගාමීන් ඇගයීමට ලක්කිරීම වන අතර ශ්‍රී ලංකාව තුළ ගෙවීම් තාක්ෂණ ක්ෂේත්රයේ නවෝත්පාදනයන් වෙනුවෙන් සම්මාන පිරිනමන එකම සම්මාන උළෙල වශයෙන් මෙය බැංකු සේවා ක්ෂේත්රයේ අතිශයින් ජනප්‍රිය සහ බොහෝ දෙනෙකු ඉමහත් උනන්දුවකින් යුතුව බලා සිටින සම්මාන උළෙලක් බවට පත් වී තිබේ.
මෙවර සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වු අතර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහභාගී වූ අතර, ගරු ආරාධිතයන් ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක හාන්ස් විජේසූරිය මහතා සහභාගී වූහ. මීට අමතරව තවත් සම්භාවනීය ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
“නැවත වරක් මෙලෙස ‘Best Common ATM Enabler of the Year’ සම්මානය හිමි වීම අපට මහත් සතුටක් සහ ගෞරවයක්. මෙම සම්මානය, ශ්‍රී ලංකා මහ බැංකුව ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහයට සමගාමීව, නවෝත්පාදන විසඳුම් ඔස්සේ රටේ වැඩි පිරිසක් වෙත අපගේ සේවාවන් සමීප කරවීම සඳහා අප දරන අඛණ්ඩ උත්සාහයේ සාර්ථකත්වයට මනා සාක්ෂියක්. මේ වන විට අප ස්වයං බැංකුකරණ මධ්‍යස්ථාන 35 ක් ඇතුළුව පාරිභෝගික සේවා ස්ථාන 68 ක් පිහිටුවා තිබෙනවා. මේ අතරින් ඇතැම් ස්ථාන පිහිටා තිබෙන්නේ රටේ දුරබැහැර සහ බැංකු සේවාවන් ලබාගැනීම දුෂ්කර ප්රදේශවලයි. අප වෙත ලබාදුන් මෙම ඇගයීම වෙනුවෙන් අප LankaPay ආයතනයට ස්තූතිවන්ත වනවා. ඉදිරියටත් ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා මූල්‍ය තාක්ෂණය ඵලදායී ලෙස භාවිතා කිරීමට අප සූදානම්.” අමානා බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසීය.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්රබලතම ඉස්ලාමීය බැංකු 25 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.


