HNB සහ RDA එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිවේගී මාර්ග සඳහා කාඩ්පත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙයි

RDA 4 (LBN)

මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේය. මෙය මගීන්ගේ පහසුව වැඩිදියුණු කිරීමට සහ ජාතික ප්‍රවාහන යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා ගනු ලැබූ වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. මීට අදාල නියමු ව්‍යාපෘතිය පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව හා කඩවත හුවමාරු මධ්‍යස්ථානවලින් නිල වශයෙන් ආරම්භ විය.
 



 
මීට අදාල නිල ගිවිසුම් ගතවීම HNB සහ RDA අතර ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේදී සිදු විය. තරඟකාරි ලංසු කැදවීමක් හරහා මෙම ව්‍යාපෘතිය සඳහා HNB තෝරාගන්නා ලදී. ඒ අනුව දැන් රියදුරන්ට මුදල් මගින් පමණක් ගෙවීමේ පැරණි ක්‍රමය හෝ QR කේත භාවිතා කිරීම වෙනුවට ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් අධිවේගී මාර්ගවල අයකැමි කුටිවලදී සෘජුවම ගාස්තු ගෙවිය හැකිය.

HNB හි ආරක්ෂිත කාඩ්පත් පිළිගැනීමේ පද්ධතිය හරහා ක්‍රියාත්මක වන මෙම ගෙවීමේ ක්‍රමය Visa, Mastercard, American Express (Amex) සහ LankaPay JCB කාඩ්පත්වලට සහාය දක්වයි. මෙමගින් පාරිභෝගිකයින්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ඉදිරියට ලබා ගැනීමට හැකිය. මෙම සේවාව ශ්‍රී ලංකාවේ ඕනෑම බැංකුවකින් කාඩ්පත් හිමියන්ට ලබා ගත හැකි අතර රටේ සියලුම අධිවේගී මාර්ග වෙත එය ව්‍යාප්ත කිරීමට නියමිතය.

HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා මෙහිදී පළමු නිල කාඩ්පත් ගෙවීම සිදු කරමින් පැවසුවේ “තාක්ෂණය මගින් දෛනික ගෙවීම් වේගවත් හා පහසු කරන්නේ කෙසේද යන්න මෙම ව්‍යාපෘතිය මගින් මැනවින් පෙන්නුම් කරනවා. මෙම නව ක්‍රමය මාර්ග තදබදය අඩු කිරීමට උපකාරී වන අතර ශ්‍රී ලංකාව මුදල් රහිත සහ නවීන ආර්ථිකයක් බවට පත්වීමට යන ගමනට සහාය වනවා.” යනුවෙනි.

“අපගේ අරමුණ සැමවිටම මහජන සේවාවන් පහසු හා වඩාත් ප්‍රවේශ විය හැකි බවට පත් කිරීමයි. අධිවේගී මාර්ගවල ගෙවීම් කිරීමට කාඩ්පත් ගෙවීම් ක්‍රමය හඳුන්වා දීම සඳහා HNB සමඟ හවුල් වීම එම ඉලක්කය කරා යන වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. ඒවගේම ඩිජිටල් තාක්ෂණය හරහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි රජයේ අවධානය මෙයින් පෙන්නුම් කරනවා.” යනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමේ ඉතා වැදගත් පියවරක් ලෙස මෙම නව හඳුන්වා දීම පෙන්වා දිය හැකිය. එමෙන්ම ශ්‍රී ලංකාව ප්‍රවාහනය, ගෙවීම් සහ අනෙකුත් පහසුකම් වැනි පොදු සේවාවන් සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමට ගෙන ඇති පියවර මෙයින් පෙන්නුම් කෙරේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව