
2025 අප්‍රේල් 07, කොළඹ: ශ්‍රී ලංකා සත්කාරක සේවා උපාධිධාරීන්ගේ සංගමය විසින් International Distillers Limited (IDL) සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (Sri Lanka Institute of Tourism and Hotel Management) සමග එක්ව සංවිධානය කරනු ලබන 30 වන ජාතික බාර්ටෙන්ඩර් තරගාවලිය (National Bartenders Competition) මේ වන විට ආරම්භ වී ඇත. ශ්‍රී ලංකාවේ බාර්ටෙන්ඩින් කලාවේ දශක ගණනක විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ඉහළම තලයේ දක්ෂතා කරළියට පැමිණෙන සුවිශේෂීම තරගය වන මෙය මෙරට සත්කාරක සේවා ක්ෂේත්රයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනයත් සමගින් රටේ බාර්ටෙන්ඩින් කලාවේ දැවැන්ත පිබිදීමක් ඇති විය. එම නිසා දක්ෂ බාර්ටෙන්ඩර්වරුන් සඳහා මේ වන විට ක්ෂේත්රය තුළ විශාල ඉල්ලුමක් ඇති වී තිබේ.
ජාතික බාර්ටෙන්ඩර් තරගාවලියට IDL සමාගමේ හවුල්කාරීත්වය හිමි වන 3 වන අවස්ථාව මෙයයි. IDL සමාගම ශ්‍රී ලංකාවේ දේශීයව නිෂ්පාදනය කරනු ලබන විදේශීය මත්පැන් [Locally Manufactured Foreign Liquor (LMFL)] සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස සැලකේ. මෙවර තරගාවලිය පෙරටත් වඩා සුවිශේෂී අත්දැකීමක් බවට පත්කරමින්, ශ්‍රී ලංකාවේ බාර්ටෙන්ඩින් කලාවේ විශිෂ්ටයන්ට තම දක්ෂතා වැඩිදියුණු කරගනිමින් වෘත්තීය දියුණුව ළඟා කරගැනීමට අත්වැලක් සැපයීමට සංවිධායකවරු බලාපොරොත්තු වෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා සත්කාරක සේවා උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති පැට්රික් පෙරෙයිරා මහතා පැවසුවේ, ජාතික බාර්ටෙන්ඩර් තරගාවලියේ 30 වන අදියර වෙනුවෙන් මෙලෙස International Distillers Ltd සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත්වන බවයි. මෙය ශ්‍රී ලංකාවේ බාර්ටෙන්ඩින් කලාවේ විශිෂ්ටයන් අගයන අතරම, ක්ෂේත්රයේ ප්රමිතීන් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් සුවිශේෂී තරගාවලියකි. මේ ආකාරයට තරුණ වෘත්තිකයන්ට පුහුණුව හා තරගකාරී අවස්ථා ලබාදීම තුළින්, ජාත්‍යන්තර තලයේ සත්කාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකා සතු පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කරන විශිෂ්ට ගණයේ සත්කාරක වෘත්තිකයන් බිහි කිරීමට හැකියාව ලැබේ. එබඳු සුවිශේෂී අරමුණක් මූලික කරගත් මෙම වැඩසටහනට සහය ලබාදීම පිළිබඳව එහි සියලුම පාර්ශ්වකරුවන්ට තමන් ස්තූතිවන්ත වන බව පැට්රික් පෙරෙයිරා මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර International Distillers Limited හි අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කෙමාල් ද සොයිසා මහතා පැවසුවේ, නැවත වරක් ශ්‍රී ලංකා සත්කාරක සේවා උපාධිධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සමග එක් වී මෙම තරගාවලියට දායකත්වය ලබාදීමට හැකි වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවයි. ශ්‍රී ලංකාවේ Bartending සහ Mixology කලාවන් වැඩිදියුණු කිරීම සඳහා IDL සමාගම කැප වී සිටී. විශේෂයෙන්ම දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන්, දේශීය ආභාසයන් ඔස්සේ, දේශීය ශිල්පීන්ගේ දායකත්වයෙන් ජාත්‍යන්තර තලයේ නිෂ්පාදන හඳුන්වා දීම සම්බන්ධයෙන් IDL සමාගම විශාල උනන්දුවක් දක්වයි. එමෙන්ම දේශීය මත්පැන් හා දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් ලොව විශිෂ්ටතම මට්ටමේ කොක්ටේල් පාන වර්ග නිෂ්පාදනය කළ හැකි බව මෙරට සත්කාරක සේවා කර්මාන්තයට පෙන්වා දීම IDL සමාගමේ තවත් ඉලක්කයකි. රටේ Bartending සහ Mixology වෘත්තිකයන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම මගින් මෙය වඩාත් පහසුවෙන් සිදුකිරීමට හැකි වනු ඇත. 30 වන ජාතික බාර්ටෙන්ඩර් තරගාවලියේ සංවිධායකවරුන්ට තමන් ස්තූතිවන්ත වන බවත්, තරගකරුවන් සියලුම දෙනාට සුභ ප්‍රාර්ථනා කරන බවත් ආචාර්ය කෙමාල් ද සොයිසා මහතා වැඩිදුරටත් පැවසීය.
දශක තුනක් පුරා ජාතික බාර්ටෙන්ඩර් සම්මන්ත්‍රණය හා තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරක සේවා ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කර ඇත. ශ්‍රී ලංකා සත්කාරක සේවා උපාධිධාරීන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සමග එක්ව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන යටතේ, තරුණ බාර්ටෙන්ඩර්වරුන්ට තම හැකියාවන් වැඩිදියුණු කරගැනීමට මහෝපකාරී වන වැඩමුළු, සම්මන්ත්රණ හා සජීවී තරග වැනි වැඩසටහන් රාශියක් දීපව්‍යාප්තව සංවිධානය කෙරේ.
ජාතික බාර්ටෙන්ඩර් තරගාවලියේ සභාපති ඩික්සන් කුමාර මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගයෙන් වර්ධනය වෙමින් පවතින මේ මොහොතේ, මෙරටට පැමිණෙන සංචාරකයන්ට ජාත්‍යන්තර තලයේ සත්කාරක සේවාවක් ලබාදීම සඳහා දක්ෂ බාර්ටෙන්ඩර්වරුන්ගෙන් සුවිශාල මෙහෙවරක් ඉටු වන බවයි. මෙම තරගාවලිය දීර්ඝ කාලයක පටන් රටේ බාර්ටෙන්ඩර්වරුන්ගේ නිර්මාණශීලීත්වය, නිරවද්‍යතාව සහ වෘත්තීය ගුණාංග වැඩිදියුණු කිරීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙමින් සිටී. මෙම වසරේදී හුදෙක් Mixologist සීමාවෙන් ඔබ්බට ගොස්, බාර්ටෙන්ඩර්වරුන් ලොව සුප්‍රකට ලාංකීය සත්කාරකත්වයේ තානාපතිවරුන් බවට පත්කිරීමට තමන් උත්සාහ කරන බව ඩික්සන් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.
2025 ජාතික බාර්ටෙන්ඩර් තරගාවලිය, ශ්‍රී ලංකාවේ එම වර්ගයේ විශාලතම සහ වඩාත්ම අංග සම්පූර්ණ තරගාවලිය ලෙස සැලකේ. IDL සමාගමේ සාදර අනුග්‍රහය සමගින් මෙවරත් එය ලොව පුරා සංචාරකයන් අතර ශ්‍රී ලංකාවට හිමි වී ඇති ඉහළ පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වනු නිසැකය.