![Untitled design - 1](https://sinhala.lankabusinessnews.com/wp-content/uploads/2025/02/1-Omega-Line-Suwa-Seriya-LBN.jpg)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අපනයන සමාගමක්වන ඔමේගා ලයින් සමාගම, 1990 සුවසැරිය ගිලන්රථ සේවාව වෙනුවෙන් ගිලන් රථ දෙකක් අලුත්වැඩියාකර භාරදීමට පසුගියදා කටයුතු කළේය. ඉතාලියේ Oniverse සමූහයට අනුබද්ධිත ඔමේගා ලයින් සමාගම, මෙරට මහජන සෞඛ්‍ය සහ ප්‍රජා සුබසාධනය වෙනුවෙන් තම කැපවීම පෙන්නුම් කරමින් සිදුකරන ලද මෙම සත්කාර සේවාව වෙනුවෙන් රුපියල් මිලියන 10ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදී තිබේ.
සුවසැරිය ගිලන්රථ සේවාව ක්‍රියාත්මක කරන සුවසැරිය පදනම මගින් හඳුන්වාදුන් ‘Adopt an Ambulance’ වැඩසටහන යටතේ මෙම පරිත්‍යාගය සිදුකර තිබේ. Omega Line insignia අනුග්‍රාහක සන්නාමය ද සහිත මෙම ගිලන්රථ දෙක වෙන්නප්පුව සහ වවුනියාව නගරවල හදිසි වෛද්‍ය අවශ්‍යතා වෙනුවෙන් වෙන්කර ඇත.
‘Adopt an Ambulance’ වැඩසටහන යටතේ ඔමේගා ලයින් වැනි පෞද්ගලික සමාගම්වලට ද එක් වසරක් සඳහා ගිලන්රථයක් නඩත්තු කිරීමට සහ එහි මෙහෙයුම් කටයුතු සඳහා අනුග්‍රහය ලබාදිය හැක. ශ්‍රී ලංකාවේ හදිසි වෛද්‍ය පහසුකම් සේවවේ කාර්යක්ෂමතාව නැංවීම එහි අරමුණයි. මෙසේ ගිලන් රථ අලුත්වැඩියා කිරීමේදී කාර්මික පිළිසකර කිරීම්, නව වෛද්‍ය උපකරණ සැපයීම සහ ගිලන් රථවල බාහිර පෙනුම ඉහළ නැංවීම යනාදිය සැළකිල්ලට ගැනේ.
″ශ්‍රී ලංකාව තුළ අපගේ කැපවීම සහ දායකත්වය හුදෙක් ආර්ථික සහ කර්මාන්තමය දායකත්වයෙන් ඔබ්බට ගමන් කරනවා. 1990 සුවසැරිය ගිලන්රථ සේවාවට සහාය වීම තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය යටිතල පහසුකම් නැංවීමටත්, මහජනතාවට හදිසි වෛද්‍ය සේවා සඳහා ප්රවේශවීමේ අවස්ථා වැඩිකිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා″, යනුවෙන් ඔමේගා ලයින් සමාගමේ අධ්යක්ෂ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී සුදම් කිරිඇල්ල මහතා පැවසුවේය.
ඉන්දියානු රජයේ සහාය ඇතිව 2016 වසරේදී ආරම්භකරන ලද සහ 2018 වසරේදී පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කරන ලද 1990 සුවසැරිය ගිලන් රථ සේවාව, 322ක ගිලන් රථ ඇණියක් සමඟින් ශ්‍රී ලංකාව පුරා පූර්ව-රෝහල් ප්‍රතිකාර පහසුකම් සහ හදිසි වෛද්‍යාධාර සැපයුම සිදුකරයි. දැනුම් දීමක් ලැබී දළ වශයෙන් මිනිත්තු 13ක් ඇතුළත හදිසි වෛද්‍යාධාර සැපයීම සිදුකරන සුවසැරිය ගිලන් රථ හරහා විශේෂයෙන්ම මෙරට ග්‍රාමීය සහ දුෂ්කර පළාත්වල ජනතාවට මහත් සේවාවක් සැලසී තිබේ.
ඔමේගා ලයින් සමාගම මෙසේ මෙරට මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන අතරතුර රටේ ආර්ථිකයට ද සුවිසල් දායකත්වයක් ලබාදීම කැපීපෙනේ. ශ්‍රී ලංකාව තුළ වසර 25ක් මුළුල්ලේ තම ව්‍යාපාර කටයුතු මෙහෙයවන ඔමේගා ලයින් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ 45වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති විශේෂ සම්මාන උළෙලේදී මෙරට නිෂ්පාදන භාණ්ඩ අපනයනයේ හොඳම අපනයනකරුවන් 5 දෙනා අතරට ද නම් කෙරුණි.
යට ඇඳුම් සහ වෙරළාශ්‍රිත ඇඟලුම් නිෂ්පාදනයේ විශේෂඥතාවක් උසුළන ඔමේගා ලයින් සමාගම, වාර්ෂිකව ඇඟලුම් මිලියන 90ක් පමණ නිෂ්පාදනය කරයි. සමාගමේ සඳලංකාව කර්මාන්තශාලාවේ 4,400ක කාර්යමණ්ඩලයක් සහ වවුනියාව කර්මාන්තශාලාවේ 2,900ක දැවැන්ත සේවක පිරිසක් ඊට දායකත්වය සපයති. මෙරට සමස්ත ඇඟලුම් කර්මාන්තයේම පුරෝගාමීය මෙහෙවරක් ඉටුකරන ඔමේගා ලයින් සමාගම, බලශක්ති කාර්යක්ෂමතාව සහ පිවිතුරු බලශක්ති භාවිතය වෙනුවෙන් ද ඉහළ කැපවීමක් පෙන්නුම් කරයි.
තව ද හලාවත සහ වවුනියාව ප්‍රදේශවල හදිසි ප්‍රතිකාර සේවාව ඉහළ නැංවීමට අමතරව, රටේ මහජන සෞඛ්‍ය යටිතල පහසුකම් නංවාලීමට පෞද්ගලික අංශයට කළ හැකි කාර්යභාරය පිළිබඳව ද මෙම ගිලන් රථ අලුත්වැඩියා කිරීම තුළින් ප්‍රකට වේ. ධනාත්මක සමාජ බලපෑමක් සහ ප්‍රජා සුබසාධනය ඇතුළත් තිරසර ව්‍යාපාර භාවිතයක් වෙනුවෙන් සමාගමේ පුළුල් අවධානය මෙම ව්‍යාපෘතිය මගින් පිළිබිඹු කෙරේ.
සමාගමේ සෙසු ආයතනික සමාජ සත්කාර අතරට, පල්ලවරායන්කඩ්ඩුහි ඩොන් බැස්කෝ පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම, BCI කැම්පස්හි නව පහසුකම්, බුත්ගම්පොළ රජයේ පාසලේ නව රංග වේදිකාවක් ඉදිකිරීම, වැටකෙයියාව ශ්‍රී චන්ද්රබිම්බාරාම විහාරයේ ආගමික් කටයුතු ආදිය ද ඇතුළත් වේ.