සුඛෝපභෝගී මහල් නිවාස සඳහා සහනදායී මූල්‍ය පහසුකම් පිරිනැමීමට අමානා බැංකුව සහ Marina Square – Uptown Colombo අත්වැල් බැඳගනී

The official signing of MoU - 02

අමානා බැංකුව සහ Harbour Village (පුද්.) සමාගම එක් වී සුඛෝපභෝගී මහල් නිවාස සඳහා සහනදායී මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙම මූල්‍ය විසඳුම් හඳුන්වා දී ඇත්තේ ‘Marina Square – Uptown Colombo’ ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගන්නා ගැනුම්කරුවන් වෙනුවෙනි. මෙරට ජනතාවට වඩාත් පහසුවෙන් සුඛෝපභෝගී මහල් නිවස මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙමින් රටේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දියුණුවට අත්වැලක් වීමේ අරමුණින් මෙම හවුල්කාරීත්වයට එළඹීමට අමානා බැංකුව කටයුතු කළේ ය.

 



 
කොළඹ වරායට මෙන්ම වරාය නගරයට නුදුරින් ඉදි වන ‘Marina Square – Uptown Colombo’ සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය, ආයෝජකයන්ට ඉහළ ප්‍රතිලාභ හිමි වන සුවිශේෂී ආයෝජන අවස්ථාවක් ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ වරායකට මුහුණ ලා ඉදි වන දැවැන්තම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස සැලකෙන මෙය Access Engineering PLC සහ China Harbour Engineering Company යන සමාගම් විසින් සිදුකරන හවුල් ව්‍යාපෘතියකි.

මෙම සහනදායී මූල්‍ය පහසුකම් යටතේ නිවාසවල විකුණුම් මිලෙන් 70% ක් දක්වා වූ ප්‍රමාණයකට මූල්‍ය පහසුකම් ලබාගත හැකි අතර, ආපසු ගෙවීම සඳහා වසර 15 ක් දක්වා කාලය ද හිමි වේ. ගැනුම්කරුගේ ආදායම අනුව ආපසු ගෙවීමේ සැලසුම සකස් කරගත හැකි අතර, සුදුසුකම් සපුරා ඇත්නම් රාජකාරි දින 3 ක් ඇතුළත මූල්‍ය පහසුකම සඳහා අනුමැතිය හිමි වනු ඇත. ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුවන කාලය මූල්‍ය පහසුකම සඳහා සහන කාලයක් ලෙස සලකනු ලබන අතර, මූල්‍ය පහසුකම කල්තබා ගෙවා අවසන් කරන අවස්ථාවකදී වුවද කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ.

අක්කර 5 ක භූමි ප්‍රදේශයක් පුරා විහිදෙන ‘Marina Square – Uptown Colombo’ ව්‍යාපෘතිය පහසුකම් රැසකින් සමන්විත ය. එයට ඇවිදීමේ හා දිවීමේ මංතීරු, අක්කර 2 ක් පුරා විහිදෙන විවෘත උද්‍යාන ප්‍රදේශයක්, Infinity pool වර්ගයේ පිහිනුම් තටාකයක්, Clubhouse ගොඩනැගිල්ලක්, ක්‍රීඩා කාමරයක්, දරුවන්ට සෙල්ලම් කිරීම සඳහා වෙනම ස්ථානයක්, සියලු පහසුකම් සහිත ව්‍යායාම මධ්‍යස්ථානයක් සහ වාණිජ පහසුකම් එකතුවක් ඇතුළත් වී ඇත. එමෙන්ම මෙය කොළඹ වාණිජ නගරයට මෙන්ම සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ සහ ප්‍රවාහන පහසුකම් ආදියට නුදුරින් පිහිටා තිබීම නිසා මෙය පදිංචියට මෙන්ම ආයෝජනයට කදිම නිවාස එකතුවක් ලෙස හැඳින්විය හැකි වේ. මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා මෙසේ අදහස් පළකළේ ය. “Marina Square Uptown Colombo සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් වර්ධනය වන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ දේපළ ආයෝජන දිරිගැන්වීම සඳහා අප දක්වන උනන්දුව මැනැවින් නිරූපණය කරන පියවරක් ලෙස හැඳින්විය හැකියි. මෙමගින් අපට අති-නවීන පහසුකම් සහිත සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගැනුම්කරුවන්ට විශේෂයෙන් සැකසූ මූල්‍ය විසඳුම් පිරිනැමීමට අවස්ථාව ලැබෙනවා.”

අමානා බැංකුව සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීම සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.amanabank.lk වෙත පිවිසෙන්න. නැතිනම් 011 7 756 756 දුරකථන අංකය අමතන්න.

Harbour Village (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ කෝසල වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. “Marina Square යනු මෙරට නිවාස ගැනුම්කරුවන්ට නවීනතම නාගරික පහසුකම් සහිත නිවාසවලට හිමිකම් කීමට අවස්ථාව ලබාදීම සඳහාම ක්‍රියාවට නැංවුණු ව්‍යාපෘතියක්. මෙහි පහසුකම් සියල්ල, නූතන නිවාස හිමියන්ගේ අවශ්‍යතාවන්ට හොඳින්ම ගැළපෙන පරිදි, ඉමහත් සැලකිල්ලෙන් යුතුව සැලසුම් කර තිබෙනවා. අමානා බැංකුව සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය නිසා, ගැනුම්කරුවන්ට වඩාත් පහසුවෙන් තම නිවාස සිහින සැබෑ කරගැනීමට අවස්ථාව සලසා දීමට අපට හැකියාව ලැබේවි.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව