සෙලින්කෝ ලයිෆ් හි හරිත ශාඛා ආකෘතිය නිට්ටඹුවට

Nittambuwa Foundation Stone (LBN)

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් රට පුරා සිය මෙහෙයුම් හරිතකරණය කිරීම හා සබැඳි නවතම පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ල, කාර්යබහුල නිට්ටඹුව නගරයෙහි ඉදි කරනු ඇත.

සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන් මහතා, කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා, අධ්‍යක්ෂකවරු හා ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය පසුගියදා අංක 251/බී/4, කොළඹ පාර, හොරගොල්ල වත්ත, නිට්ටඹුව යන ස්ථානයේ පිහිටි සමාගමට අයත් ඉඩමක දී මෙම නවතම ශාඛාව සඳහා මුල්ගල් තබන ලදී.
 



 
ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD) විසින් නිර්මාණය කරන ලද අඩු වියදම් ‘ප්‍රීකාස්ට්’ කොන්ක්‍රීට් තාක්ෂණය භාවිතා කරමින් ඉදිකෙරෙන මෙම නව ශාඛා ගොඩනැගිල්ල, සමාගමට අයත් සියලුම ඉඩම්වල ඉදි කෙරෙන අනෙකුත් සියලුම ගොඩනැගිලි සඳහා අනුගමනය කරනු ලබන විශේෂිත පරිසර හිතකාමී පිරිවිතරයන් සපුරාලයි. මෙම ගොඩනැගිල්ල එම මාදිලියේ 31 වැනි සෙලින්කෝ ලයිෆ් ශාඛාව වනු ඇත.

වර්ග අඩි 5750 කින් යුත් මෙම දෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම සූර්ය බලශක්තියෙන් බලගැන්වෙන අතර එමගින් ජාතික පද්ධතියට විකිණීම සඳහා අතිරික්ත විදුලි ප්‍රමාණයක් නිපදවීමට ද අපේක්ෂා කරයි. එමෙන් ම අඛණ්ඩ විදුලි බල සැපයුමක් සහතික කරමින් සහ ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය පරිභෝජනය කිරීම ශුණ්‍ය කරමින් පාරිභෝගික සේවා ලබාදෙන ප්‍රදේශය සඳහා බැටරි උපස්ථ පද්ධතියක් ද ඇතුලත් වනු ඇති බව සමාගම පවසයි.

නල ජලය භාවිතය අවම කරමින් තමන්ගේම වැසි ජලය රැස් කිරීමේ පහසුකම්, අපජලය 100% ක් ම ප්‍රතිචක්‍රීයකරණ පද්ධතියකින් මෙන්ම වැසිකිළි සේදීම හා ගෙවතු වගාව සඳහා පිරිපහදු කළ ජලය නිපදවන මල අපවහන පවිත්‍රාගාරයක් මෙම ගොඩනැගිල්ලෙ හි ස්ථාපිත කෙරනු ඇත.

ස්වාභාවික ආලෝකය හා වාතාශ්‍රය ප්‍රශස්ත ලෙස භාවිත කිරීම සඳහා ගොඩනැගිල්ල සැලසුම් කෙරෙනු ඇති අතර, බලශක්ති කාර්යක්‍ෂමතාව ඇති කෘත්‍රීම ආලෝකකරණ හා වායු සමීකරණ පද්ධති එහි සවි කෙරෙනු ඇත.

හරිතකරණ මුලපිරීමක් වන මෙහි ආකෘතිය දැව වලින් තොර වනු ඇති අතර ‘ප්‍රීකාස්ට්’ ඉදිකිරීම් ක්‍රමය නිසා ද ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතුවලදී දැව යොදා ගැනීම අවම කරයි. මෙම පරිශ්‍රයෙහි සංවෘත උද්‍යානයක් හා පාරිභෝගිකයින් සඳහා ද වෙන්වූ වාහන අංගනයක් වෙනුවෙන් ඉඩ වෙන් කර ඇති අතර අවශ්‍ය වූ විට ගොඩනැගිල්ල පුළුල් කිරීමට ද හැකියාව පවතී.

2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 36 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව