SLIIT විසින් පවත්වනු ලබන ‘Brain Busters with SLIIT – Season 4’ රූපවාහිනී දැනුම මිනුම වැඩසටහන, සිසුන්ගේ සුවිශේෂී දක්ෂතා සහ දැනුම එළිදක්වමින් සාර්ථකව නිමා වේ.

BB Season 4-Grand Finale (1) (1) (LBN)

ශ්‍රී ලාංකීය සිසු ප්‍රජාවගේ දැනුම වැඩිදියුණු කිරීමට සහ ඔවුන් තුළ අභියෝගයන් ජය ගැනීම සඳහා අවශ්‍ය පෙළඹවීම ඇති කිරීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙරටේ ප්‍රමුඛතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක් වන ‘Brain Busters with SLIIT – Season 4’ වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත්විය.

TV1 රූපවාහිනී නාලිකාව හරහා සෑම සෙනසුරාදා දිනකම සවස 6.30 සිට 7.00 දක්වා විකාශනය කෙරුණු මෙම වැඩසටහනේ අවසන් මහා තරගය රත්මලානේ පිහිටි Stein මැදිරි සංකීර්ණ පරිශ්‍රයේදී පැවැත්විණි. අවසන් මහා තරගයේදී සිසුන් සියලු දෙනාම සිය දැනුම, කුසලතාවයන් උපරිම මට්ටමින් ප්‍රදර්ශනය කරමින් කණ්ඩායමක් ලෙස දැඩි උනන්දුවකින් තරග කළේය.

උණුසුම් හා තියුණු තරගයකින් අනතුරුව අවසන් මහා තරගයේ ශූරතාවය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය විසින් දිනාගනු ලැබීය. එම ශූරතාවයට හිමි රු. ලක්ෂ 300,000 ක මුදල් ත්‍යාගය පාසල වෙත ප්‍රධානය කෙරුණු අතර එම කණ්ඩායම නියෝජනය කරනු ලැබූ මනුක රිසන් සහ රූපසිංහ විහඟ තත්සර යන සිසුන්හට, ඔවුන් දැක්වූ විශේෂ දක්ෂතා වෙනුවෙන් වටිනා මුදල් ත්‍යාග හා සහතිකපත් හිමි විය.

මෙහි පළමු අනුශූරතාවය කොළඹ රාජකීය විද්‍යාලය විසින් දිනා ගනු ලැබූ අතර ඔවුන්ට හිමි රු.150,000 ක ත්‍යාග මුදල එම විද්‍යාලය වෙත ප්‍රධානය කෙරිණි. එම කණ්ඩායම නියෝජනය කරනු ලැබූ කල්‍යා මෙත්තානන්ද සහ විරුල ලියනගේ යන සිසුන් සඳහාද සිය දක්ෂතාවයන් වෙනුවෙන් මුදල් ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානය කළේය.
 



 
තෙවැනි ස්ථානය දිනාගත් මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය 2 වැනි අනුශූරතාවය හිමිකර ගනු ලැබීය. ඔවුන්ට හිමි රුපියල් 75,000 ක මුදල් ත්‍යාගය විද්‍යාලය වෙත ප්‍රධානය කරනු ලැබූ අතර, එම කණ්ඩායම නියෝජනය කළ අමයුරු ශෙනාල් පටබැඳි සහ සසිඳු සත්මල් යන සිසුන්ගේ දක්ෂතාවයන් අනුව මුදල් ත්‍යාග හා සහතිකපත් තිළිණ කරන ලදී.

මෙහි මූලික වටයේ තරග සඳහා දිවයින පුරා පාසල්වල සිසුන් 5000 කට වැඩි පිරිසක් සහභාගී විය. වැඩිම ලකුණු ලබාගත් පාසල් 27 ක සිසුන් රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක තරග වටය සඳහා තෝරා ගනු ලැබූ අතර, ඒ සෑම පාසලක්ම නියෝජනය කරමින් සිසුන් දෙදෙනෙකු බැගින් වූ කණ්ඩායම් මෙම තරගය සඳහා ඉදිරිපත් විය. රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක තරග වටය සඳහා තෝරාගත් සිසුන් 54 දෙනාට ඔවුන් ලබා ගත් ලකුණු මට්ටම් අනුව මුදල් ත්‍යාග හිමි වූ අතර, මෙම තරගය සඳහා සහභාගී වූ සෑම සිසුවෙකුම, සිසුවියකම ජයග්‍රාහකයෙකු ලෙස අගය කිරීමට ලක් විය. ඊට අමතරව, මූලික තරගය සඳහා සහභාගී වූ සිසුන් 5,000 කට ඔවුන්ගේ සහභාගීත්වය වෙනුවෙන් සහතික පත් ප්‍රධානය කරනු ලැබූ අතර, සෑම පාසලකින්ම ඉහළම ලකුණු ලබාගත් සිසුන්ට වටිනා පොත්පත් තිළිණ කරන ලදී. තවද, එම සිසුන්ගේ ගුරුවරුන් වෙනුවෙන්ද සිසුන් වෙත ලබා දෙන සහය හා කැපවීම වෙනුවෙන් විශේෂ ත්‍යාගයක් ප්‍රධානය කළේය.

තරගය සඳහා සහභාගී වූ කණ්ඩායම්වල සාර්ථකත්වය වෙනුවෙන් වටිනා කාර්යභාරයක් ඉටු කරමින්, සිසුන්ට මගපෙන්වීමට සහ ඔවුන්ට සහය ලබා දුන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෙනුවෙන් SLIIT හෘදයාංගම ස්තුතිය පුද කළේය.

SLIIT හි උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ, SLIIT හි කුලපති හා ප්‍රධානී මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක සහ සහකාර උපකුලපති (පර්යේෂණ සහ ජාත්‍යන්තර)  මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ යන මහත්වරුන් ඇතුළු SLIIT ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් මෙම තරගයේ සම්මාන ප්‍රධාන කළේය. මෙම අවස්ථාවට පාසල්වල විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසු සිසුවියන් සහභාගී වූ අතර ජයග්‍රාහී කණ්ඩායම් විසින් සිය විශිෂ්ට වූ දක්ෂතාවයන් සමරනු ලැබීය.

අවසන් මහ තරගයේ විනිශ්චය මණ්ඩලය SLIIT Business School හි තොරතුරු කළමනාකරණ අංශයේ ප්‍රධානී මහාචාර්ය රුවන් ජයතිලක, අධ්‍යක්ෂිකා (පර්යේෂණ හා ජාත්‍යන්තර සබඳතා) හා Brain Busters with SLIIT ව්‍යාපෘති ප්‍රධානී අසංගි ජයසිංහ, අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.ඒ.ටී.සී. මුදන්නායක යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විය.

සම්මාන ප්‍රදානෝත්සවයේදී SLIIT හි උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ විසින් ශූරතා කුසලානය ප්‍රදානය කරමින් සිසුන් දිරිගන්වන දේශනයක් පැවැත්විය. ඔහුගේ පාසල් ළමා කාලයේ සිට වෘත්තීය අධ්‍යාපනඥයෙකු ලෙස ප්‍රධාන විශ්වවිද්‍යාලයක නිර්මාතෘවරයා දක්වා පැමිණි ගමන් මග තුළ මුහුණ දුන් අභියෝග, අත්දැකීම් හා ජයග්‍රහණ පිළිබඳව ඔහු එහිදී සඳහන් කළේය. සාර්ථකත්වය කරා ලඟා වීමේදී  විශ්වාසය, දරා ගැනීමේ ශක්තිය සහ ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව ඔහු සිය දේශනය මගින් සිසුන්ට අවධාරණය කළේය.

මෙම වැඩසටහන පාසල් සිසුන්ගේ බුද්ධි මට්ටම සහ සාමාන්‍ය දැනුම වැඩිදියුණු කිරීම සඳහා ඔවුන් තුළ පෙළඹවීමක් ඇති කරමින් අනාගත දැක්මක් සහිත නායකයන් බිහි කිරීමේ අරමුණ ඇතිව ආරම්භ කරන ලදී. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අසංගි ජයසිංහ, Brain Busters with SLIIT ව්‍යාපෘති ප්‍රධානී මෙසේ පැවසුවාය. ” මෙය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකින් ඔබ්බට යමින්, සිසුන් තුළ දැනුම හා දක්ෂතාවයන් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පෙළඹවීම ඇති කරන වැඩසටහනක්. මේ හරහා සිසුන් හට ඔවුන්ගේ දැනුම හා කුසලතාවයන් වර්ධනය කිරීමට අවශ්‍ය මග පෙන්වීමක් ලබා දෙමින්, දක්ෂතාවයන් අනුව ඔවුන් තෝරාගත් ක්ෂේත්‍ර තුළින් ඉහළ මට්ටමක් කරා ලඟා වීමට සහ ජාත්‍යන්තර තලය ජයගන්නා දක්ෂ පුද්ගලයකු බවට පත්වීමට අවශ්‍ය පෙළඹවීම ඇති කරනවා.”

මෙම වැඩසටහන ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම ඉහළ නංවාලීම වෙනුවෙන් වසර ගණනාවක් පුරා SLIIT විසින් කරනු ලබන සමාජ ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ ප්‍රධාන අංගයකි. මෙම තරගය හරහා ගෝලීය වශයෙන් ශ්‍රී ලාංකීකයන් ලැබූ ජාත්‍යන්තර ජයග්‍රහණ හා සාර්ථකත්වයන් පිළිබඳව ඉස්මතු කරමින්, මේ සඳහා උනන්දුවන ශිෂ්‍ය ප්‍රජාව තවත් වර්ධනය කිරීමටත් ඒ සඳහා ඔවුන් දිරිගැන්වීමටත් අවශ්‍ය පෙළඹවීම කරනු ලබයි.

මෙම තරගයේ මූලික වටයේදී පාසල් සිසුන්ගේ දැනුම් මට්ටම පරීක්ෂා කිරීම පමණක් නොව සිසුන්ට ව්‍යවසායකයින් වීමට උනන්දුව ඇතිකරන මාර්ග පිළිබඳව වැඩමුළු මාලාවක්ද පැවැත්විණි. රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වටය තුළදී ද මෙවැනි දේශණ SLIIT හි කීර්තිමත් මහාචාර්යවරුන් විසින් පවත්වනු ලැබූ අතර, මේ සම්බන්ධයෙන් සිසුන්ට නිවැරදි අවබෝධයක් සහිත පුළුල් දැනුමක් ලබා ගැනීමට අවශ්‍ය සහය ඒ තුළින් හිමි විය.

Times Higher Education World University 2025 ශ්‍රේණිගත කිරීම්වලට අනුව SLIIT, දිවයින පුරා පිහිටි සියලුම විශ්වවිද්‍යාල අතරින් 3 වැනි ස්ථානයට එක්වූ ශ්‍රී ලංකාවේ අංක 1 රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය ලෙස ඉදිරියට පැමිණ ඇත. SLIIT වසර 25 ක උසස් අධ්‍යාපන විශිෂ්ටත්වය සමරමින්, විවිධ ක්ෂේත්‍රවල 40,000 කට වැඩි ආදි ශිෂ්‍ය ජාලයක් සමගින් මේ වන විට උපාධි අපේක්ෂකයින් 25,000 කට වැඩි පිරිසක් බඳවාගෙන ඇත.

‘Brain Busters with SLIIT – Season 5’ ද ළඟදීම ආරම්භ කිරීමට නියමිතය. එම වැඩසටහන තුළින් ශ්‍රී ලංකාව පුරා සිටින පාසල්වල සිසුන්ගේ දක්ෂතා එළිදක්වමින් ඔවුන් දිරිගැන්වීමට කටයුතු කරනු ලබයි.

මීළඟ තරග වාරය සඳහා ලියාපදිංචි වීමට කැමති පාසල්වලට වැඩිදුර තොරතුරු සහ තම පාසල ලියාපදිංචි කිරීම සඳහා asangi.j@sliit.lk විද්‍යුත් ලිපිනය හරහා SLIIT හි අසංගි ජයසිංහ (අධ්‍යක්ෂිකා – පර්යේෂණ ව්‍යවසාය සහ ජාත්‍යන්තර සබඳතා) මෙනවිය සම්බන්ධ කර ගත හැකිය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + 18 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව