ලොව රටවල් 217ක් අතිඋත්කර්ෂවත් අයුරින් වාර්ෂිකව සමරනු ලබන ලෝක බැඩ්මින්ටන් දිනය පසුගිය 6වැනිදා ශ්‍රී ලංකාවේ ද වර්ණවත් අයුරින් සැමරීමට කටයුතු යොදා තිබිණි. වසර 90ක කාලයක් පුරා ජාත්‍යන්තර වශයෙන් සැමරෙන ලෝක බැඩ්මින්ටන් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් කොළඹදී සංවිධාන කරනු ලැබූ විශේෂ උත්සවය ක්‍රීඩා රාජ්‍ය ඇමති රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
එදින පෙරවරු 8.45ට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මූලස්ථානය අසළදී විචිත්‍රවත් පා ගමනකින් එම උත්සවය ආරම්භ වූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තූර්යවාදන කණ්ඩායමේ සංගීත වාදනයෙන් සහ සරසනු ලැබූ වාහන පෙළකින් වර්ණවත් වූ එම පාගමනට පාසල් තූර්ය වාදන කණ්ඩායම්, කලාපීය බැඩ්මින්ටන් සංවර්ධන සංචිතවල දරුවන් 170කට අධික සහභාගිත්වයෙන් මධ්‍යයේ සිදු කෙරිණි.
එම අවස්ථාවට ජාතික බැඩ්මින්ටන් සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ, සෙසු බැඩ්මින්ටන් ඇකඩමිවල දරුදැරියෝ, පුහුණු සංවර්ධන කමිටුවේ පුහුණුකරුවෝ, බැඩ්මින්ටන් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෝ මෙන්ම තාක්ෂණ කමිටුවේ සාමාජිකයෝ ද එක්වූහ.
බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මාපියන් 300කට අධික පිරිසක්ද මෙම පා ගමනට එක්වීම විශේෂත්වයක් වූ අතර, කොළඹ කේන්ද්‍ර කරගත් පාසල් රැසක දරු දැරියෝ විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය අසළින් ඇරැඹුණු පා ගමන හෝටන් පෙදෙස, ඇල්බට් චන්ද්‍රවංකය, නිදහස් මාවත ඔස්සේ කිලෝමීටර් 2.8ක දුරක් ආවරණය වන පරිදි පැවැත්විණි.