SLT-MOBITEL පිරිවැය ප්‍රශස්තකරණයන් මධ්‍යයේ 2024 පළමු කාර්තුවේදී සීමිත වර්ධනයක් වාර්තා කරයි

Janaka

SLT-MOBITEL 2024 මාර්තු 31 දිනයෙන් අවසන් වූ ප්‍රථම කාර්තුවේදී, අභියෝගාත්මක පරිසරයක් තුළ සීමිත වර්ධනයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. කෙසේ නමුත් සමාගමේ සක්‍රීය පිරිවැය කළමනාකරණ ප්‍රයත්න මඟින් සමාගමේ  මෙහෙයුම් වියදම් අවම කරගැනීමට හැකි වී ඇති අතර, එම නිසා සමාගමට ලාභදායීත්වය පවත්වා ගැනීමට හැකි වී තිබේ.

මෙම කාර්තුව සඳහා SLT සමූහය රු, බිලියන 26.93 ක ඒකාබද්ධ ආදායමක් වාර්තාකර ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 1.4% ක වර්ධනයකි.

 



 

කෙසේ නමුත් පෙර වසරේ 4 වැනි කාර්තුවට සාපේක්ෂව, මෙම කාර්තුවේ ආදායම 3.7% ක වර්ධනයක් පෙන්නුම්කරන අතර, ආයතනික සේවා සහ අන්තර්ජාල ආදායම් මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

සමාගම සාර්ථක ලෙස ක්‍රියාවට නැංවූ පිරිවැය අවම කිරීමේ විධිවිධාන හේතුවෙන් 2023 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම කාර්තුවේදී මෙහෙයුම් වියදම් (ක්ෂය වීම් සහ ක්‍රමක්ෂය වීම් හැර) 0.6% කින් පහළ ගොස් ඇත. රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් වාර්ෂික නඩත්තු සේවා වියදම්, ජාත්‍යන්තර ගෙවීම්, සහ අන්තර්ජාල පිටුබල ගාස්තු වැනි ඩොලර් මගින් ගෙවීම්කරනු ලබන වියදම් පහළ යාමද මීට බලපා තිබේ.

2024 වසරේ පළමු කාර්තුවේදී පැවති අස්ථාවර ව්‍යාපාරික වාතාවරණය සහ, සාර්ව ආර්ථික සාධක මගින් සමූහ ආදායමට බලපෑම් එල්ල විය. කෙසේ වුවද SLT-MOBITEL කඩිනමින් ක්‍රමෝපායික පිරිවැය-ප්‍රශස්තකරණ විධිවිධාන ක්‍රියාවට නැංවීම හේතුවෙන් සමූහ මට්ටමින් 2.7% කින් මෙහෙයුම් වියදම් අවම කරගැනීමට හැකියාව ලැබිණි.

මෙම ප්‍රයත්න යටතේ වාර්ෂික නඩත්තු සේවා වියදම්, රථවාහන කුලී පදනම මත ලබාගැනීමේ වියදම්, ජාත්‍යන්තර ගෙවීම්, සහ අලුත්වැඩියා වියදම් ආදිය අවම කරගැනීමට පියවර ගෙන තිබේ. මෙම පියවර හේතුවෙන් සමාගමේ මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) පසුගිය වසරට සාපේක්ෂව 10.3% කින් වර්ධනය විය.

මෙහෙයුම් ඉපැයුම් ලාභය වර්ධනය වුවද, ප්‍රාග්ධන වියදම් වැඩසටහන් සඳහා සැලකිය යුතු ආයෝජන සිදුකිරීම මගින් සිදු වූ ක්ෂයවීම් හේතුවෙන් සමූහයේ මෙහෙයුම් ලාභය 1.9% කින් පහළ ගොස් තිබේ. ප්‍රධාන වශයෙන් මෙහෙයුම් ලාභය අවම වීම සහ පොලී අනුපාත අඩුවීම හේතුවෙන් පොලී ආදායම අවම වීම නිසා සමාගමේ ශුද්ධ බදු-පසු ලාභයද පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව පහළ ගොස් ඇත.

ධනාත්මක ප්‍රතිඵල සම්බන්ධයෙන් ගත් විට, පෙර වසරේ 4 වැනි කාර්තුවට සාපේක්ෂව මෙම කාර්තුවේදී SLT-MOBITEL හි බදු-පසු ලාභය ඉහළ ගොස් තිබේ. මෙහෙයුම් ඉපැයුම් ලාභය හා මෙහෙයුම් ලාභය වර්ධනය වීම, විදේශ විනිමය ලාභ වාර්තා වීම සහ පොලී වියදම් පහළ යාම ඊට බලපා ඇත.

එමෙන්ම මෙම කාර්තුව තුළ SLT-MOBITEL විසින් බදු සහ වෙනත් ගාස්තු වශයෙන් රජයේ ආදායමට කැපීපෙනෙන දායකත්වයක් දක්වන ලද අතර, එය රටේ ආර්ථික සංවර්ධනය උදෙසා සමාගම දක්වන උනන්දුව හා කැපවීම මැනවින් නිරූපණය කරන සාධකයකි.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙන්ම තම ව්‍යාපාර කටයුතුද කැපීපෙනෙන දියුණුවක් අත්කරගනු ඇතැයි SLT-MOBITEL විශ්වාසය පළකරයි. SEA-ME-WE 6 (South East Asia-Middle East -West Europe) මුහුදු සංදාම රැහැන් පද්ධතිය වැනි ආයෝජන සමාගමේ අනාගත දියුණුවට කැපීපෙනෙන දායකත්වයක් දක්වනු ඇත. SEA-ME-WE 6 රැහැන් පද්ධතිය මගින් SLT-MOBITEL වෙත වඩාත් ඉහළ ජාත්‍යන්තර බෑන්ඩ්විත් ධාරිතාවක් සහ වඩාත් හොඳ සම්බන්ධතා හැකියාවක් හිමි වනු ඇති අතර, එය දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ සමාගම සතු ස්ථානය තවදුරටත් තහවුරු කරනු ඇත.

ඉදිරියටත් ව්‍යපාර ලෝකයේ වෙනස්කම්වලට අනුගත වෙමින් මෙහෙයුම් විශිෂ්ටත්වය, ක්‍රමෝපායික ආයෝජන සහ පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතාවන්ට අනුව පිරිනමන නිර්මාණශීලී විසඳුම් සමගින් ඉදිරියටම ගමන් කිරීම SLT-MOBITEL හි අරමුණ වී තිබේ. එමෙන්ම ඉදිරියේදී ලැබීමට ඇති අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගනිමින්, සියලුම පාර්ශ්වකරුවන්ට ඉහළම වටිනාකම් පිරිනැමීමට සමාගම සූදානමින් සිටී.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව