Lumala සමාගම, Eco Hauler e-bike සමඟින් මෙරට කසළ කළමනාකරණයේ විප්ලවීය වෙනසකට මුලපුරයි

1- Eco Hauler Lumala (LBN)

City Cycle Industries Manufacturing හෙවත් Lumala සමාගම යනු දශක තුනකට වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පාපැදි නිෂ්පාදන කර්මාන්තය තුළ පරිසර හිතකාමී නවෝත්පාදනය සඳහා පෙරමුණ ගත් ආයතනයකි. ත්‍රාසජනක අත්දැකීම් වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන මවුන්ටන් පාපැදිවල සිට එදිනෙදා නාගරික පරිහරණයට යොදාගන්නා පාපැදි දක්වා, Lumala නිෂ්පාදන මගින් පිළිබිඹු වන්නේ තිරසරභාවය වෙනුවෙන් සමාගම සතු අඛණ්ඩ කැපවීම යි.

 



 

පාරිසරික සෞඛ්‍ය ඉහළ නංවමින් ශ්‍රී ලාංකිකයින් තුළ සක්‍රීය ජීවන රටාවක් ඇතිකිරීම Lumala සමාගමේ අරමුණ යි.  එමෙන්ම සිය නවෝත්පාදන ක්‍රියාවලිය ඉදිරියටම ගෙනයමින් පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් හඳුන්වාදෙමින් ගෝලීය තිරසරභාවයට ද සමාගම දායක වෙයි. මේ හරහා සුහුරු ප්‍රවාහන මාධ්‍යයන්හි නායකත්වය ගැනීමට මෙන්ම පරිසර ආරක්ෂණයට කැපවීමට ද Lumala සමාගමට හැකිවී තිබේ.

මෙම නවෝත්පාදන සහ පරිසර හිතකාමී ගමන්මඟහෙි තවත් සුවිශේෂී පියවරක් ඉදිරියට තබමින් Eco Hauler කසළ කළමනාකරණ විද්‍යුත් පාපැදිය හඳුන්වාදීමට Lumala සමාගම පසුගියදා කටයුතු කළේය. මෙරට කසළ කළමනාකරණය විශාල අර්බුදකාරී තත්ත්වයක පවතින අතර, දෛනිකව කසළ මෙට්‍රික් ටොන් 938ක් පමණ ජනනය වුවද ඉන් ප්‍රතිචක්‍රීයකරණයට ලක්වන්නේ සියයට 4ක තරම් ඉතා සුළු ප්‍රමාණයකි. කසළ කළමනාකරණයේ මෙම දැඩි අවශ්‍යතාව සැළකිල්ලට ගෙන USAID Clean Cities සහ Blue Ocean (CCBO) වැඩසටහන සමඟ එක්ව දියත්කළ Eco Hauler විද්‍යුත් පාපැදි ව්‍යාපෘතිය හරහා සමුද්‍ර පරිසර දූෂණය මැඬපැවැත්වීම, දේශගුණික විපර්යාස අවමකිරීම මෙන්ම නාගරික සහ වෙරළාසන්න ප්‍රදේශවල ද ගංගා ඉවුරු ආශ්‍රිතව ද කසළ කළමනාකරණයේ කාර්යක්ෂමතාව නැංවීම අරමුණු කෙරේ.

දැරිය හැකි මිල, අවම මෙහෙයුම් පිරිවැය, ඉහළ ධාරිතාව, පරිසර හිතකාමී නිමැවුම ආදී සියලු අංශයන් තුළින් Lumala සමාගමේ තිරසර කේන්ද්‍රී වැඩසටහන පිළිබිඹු කෙරෙන අතර, මෙරට කසළ කළමනාකරණය වෙනුවෙන් අර්ථවත් දායකත්වයක් මෙමගින් ලබාදීමට පළාත් පාලන ආයතන, ප්‍රජා සංවිධාන සහ වෙනත් පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීතාවන්ට එළඹීමට සමාගම අපේක්ෂා කරයි.

″Lumala සමාගමේ අභිප්‍රාය වන්නේ හුදෙක් නවෝත්පාදන නිෂ්පාදන හඳුන්වාදීම පමණක් නොවෙයි. ඉන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවට තිරසර අනාගතයක් උදාකිරීම වෙනුවෙන් අපි කැපවී සිටිනවා. Eco Hauler ව්‍යාපෘතිය හරහාත් පාරිසරික තිරසරභාවය තුළින් වඩාත් පිරිසිදු සහ හරිතවත් වටාපිටාවක් බිහිකිරීම වෙනුවෙන් අපගේ කැපවීම පෙන්නුම් කෙරෙනවා″ යනුවෙන් Lumala සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තාරික් මිෆ්ලාල් මහතා ප්‍රකාශ කළේය.

Eco Hauler ඇතුළු Lumala සමාගමේ සියලු පරිසර හිතකාමී පියවර පිළිබඳ දැනුවත් වීමට www.lumala.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව