කොමර්ෂල් බැංකුව 2022 වසරේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ (SME) අංශයට විශාලතම ණය දෙන්නා ලෙසට නැවත තහවුරු වෙයි

Commercial-Bank

 



 

 

2022 වසරේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට (SME) ණය දෙන ආයතන මගින් ලබාදුන් සෑම ණය පහසුකම් තුනකින් එකක් කොමර්ෂල් බැංකුව විසින් සිදුකළ බැව්, මෑතකදී නිකුත් කරන ලද රජයේ නිල සංඛ්‍යාලේඛන හෙළි කරයි.

රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට විශාලතම ණය දෙන්නා ලෙසට කොමර්ෂල් බැංකුව තම තත්ත්වය යළි තහවුරු කිරීම ගැන මුදල් අමාත්‍යාංශයේ 2022 වාර්ෂික වාර්තාවේ සඳහන් වන අතර, එයින් පෙන්නුම් කරන්නේ වාණිජ හා විශේෂිත බැංකු විසින් SME අංශයට ලබාදුන් මුළු ණයවලින් 34.2%ක්ම කොමර්ෂල් බැංකුව සතු බවයි.

2022 වසරේදී ආයතන 18ක් විසින් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන්ට ලබාදී ඇති රුපියල් බිලියන 619.891ක ණයවලින්, රුපියල් බිලියන 195.852ක්ම ණයට ලබා දී ඇත්තේ කොමර්ෂල් බැංකුවයි. එසේම සමාලෝචිත වර්ෂයේදී ලබාදී ඇති මුළු ණය 126,899කින් බැංකුව විසින් ලබාදී ඇති ණය සංඛ්‍යාව 43,427කි. කර්මාන්ත ක්ෂේත‍්‍රය තුළ කොමර්ෂල් බැංකුවේ දායකත්වය විශේෂයෙන් පැහැදිලිවූ අතර, සියලූම බැංකු විසින් එම ක්ෂේත‍්‍රයට ලබා දී ඇති මුළු ණය සංඛ්‍යාවෙන් අඩකට වඩා වැඩි ප‍්‍රමාණයක් බැංකුව විසින් දරණු ලබයි.

කොමර්ෂල් බැංකුවේ මෙම වැදගත් භූමිකාව පිළිබඳව අදහස් දක්වමින් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය. ‘අපගේ දැක්ම සහ මෙහෙවර මෙන්ම, ජාතික ආර්ථිකයට වැදගත් වන බැංකුවක් ලෙස අපගේ යුතුකම ඉටු කරමින් යන අපගේ ගමනේදී, SME ව්‍යවසාය අංශයට අප විසින් සැළකිය යුතු දායකත්වයක් ලබාදෙන බැව් දැකීම අතිශයින්ම සතුටට කරුණකි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිශ්චිත අවශ්‍යතා සපුරාලීම සඳහා කැපවූ ක‍්‍රියාවලින් සහ යටිතල පහසුකම් මගින් බැංකුව සහාය දක්වනු ලබයි. දශක ගණනාවක විචක්‍ෂණ කළමනාකරණය මත ගොඩනැගුණු අපගේ මූල්‍ය අත්දැකීම, මූලික වටිනාකම් සහ මූලික කරුණු පිළිපැදීම මෙම ගනුදෙනුකරුවන්ට සේවා සැපයීමේදී අනිවාර්යයෙන්ම වටිනාකමක් එක් කරයි.’

බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍ය අවශ්‍යතා විෂයමූලිකව තක්සේරු කරන අතර, අපනයන, දේශීය නිෂ්පාදන සහ ආනයන ආදේශන කර්මාන්ත වැනි ඉලක්කගත අංශ සඳහා ණය දීමේ අවස්ථා අපේක්‍ෂා කරන බවත්, බැංකුව විසින් සුරක්‍ෂිත කර ඇති සහනදායී ණය මාර්ග හරහා මූල්‍ය ආධාර ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

විවිධ හේතූන් මත පූර්ව අනතුරු ඇගවීමේ සංඥා පෙන්වන අඩු කාර්ය සාධනයක් ඇති ව්‍යාපාර පුනර්ජීවනය කිරීම සඳහා පූර්වගාමීව සහාය දැක්වීමට, 2020දී බැංකුව ව්‍යාපාර පුනර්ජීවන සහ පුනරුත්ථාපන ඒකකයක් පිහිටුවන ලදී. සමාලෝචිත වර්ෂය තුළදී, එම විශේෂ ඒකකය මගින් බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ගම්‍යතාවය නැවත උත්පාදනය කිරීමට උපකාරක සේවාද සපයමින් සහාය දැක්වීය.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 957 ක ක‍්‍රියාත්මක කරයි. මීට අමතරව බැංකුව ප‍්‍රාදේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය කළමනාකරුවන් 14 ක්, සහ කෘෂිකර්ම හා ක්ෂුද්‍ර මූල්‍ය නිලධාරීන් 19 ක් ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වෙයි. දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + fourteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව